Wednesday, July 11, 2012

කිතුනු දිවැසිවර වගකීම

සාමාන්‍ය සමයේ පසළොස්වන ඉරුදින [2012.07.15]

පූජා ඇඳුම් වර්ණය           : කොළ 
යාම යැදුම                      : 3 වන සතිය 
පළමුවන‍ දේව ප්‍රකාශනය : ආමෝස් 7 : 12 - 15
                                                බෙතෙල් නමැති ප්‍රදේශයේ පූජකවරයෙකු වූ අමසියා දෙවියන් 
                                                වහන්සේගේ පණිවුඩය රැගෙන පැමිණි ආමෝස් නමැති දිවැසිවරයා 
                                                ඉශ්රායෙලයේ බෙතෙල් හි දේව වචනය ප්‍රකාශ කරමින් දිවැසිවර 
                                                සේවයේ යෙදීම ගැන විරුද්ධත්වය පළ කළේ ය. ඔහු ආමෝස් 
                                                අමතා, " දිවැස්වැකි කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් 
                                                එහි ‍ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න. 
                                                මින් පසු දිවැස් දෙසුම් බෙතෙල් හි නොකරන්න. මෙය රජතුමා 
                                                නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය." යි 
                                                කීවේ ය. ආමෝස් දිවැසිවරයා ද ඔහුට පිළිතුරු දෙමින්, " මම 
                                                රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙම්; 
                                                මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි. එහෙත්, 
                                                සමිඳාණන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා, 'නුඹ 
                                                ගොස් මාගේ ඉශ්රායෙල් සෙනඟට දිවැස් වැකි දෙසන්නැ' යි මට 
                                                නියම කළ සේක..." යයි පිළිතුරු දුන්නේ ය.

මෙනෙහි කිරීමේ ගීය       : ගීතාවලිය 85 : 8 - 13
                                               දෙවි සමිඳුන් වදාරන වදනට සවන් දිය යුතුය. මන්ද, සිට 
                                               සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන 
                                               අයට ද සමිඳාණෝ සමාදානය දීමට පොරොන්දු වූ සේක. එතුමන් 
                                               හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තටම 
                                               එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය. තිර පෙම 
                                               සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ 
                                               ගන්නේ ය. විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නගින්නේ ය. 
                                               දැහැමි බව සගලොවින්  පහළට බසින්නේ ය. සමිඳාණෝ අපව 
                                               සමෘද්ධිමත් කරන සේක...දැහැමි බව එතුමන්ට පෙරටුව යන්නේ ය. 
                                               එතුමන්ගේ අඩි පාරේ සාමය වන්නේ ය. 

දෙවන දේව ප්‍රකාශනය   : එපීස 1 : 3 - 14
                                              ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශිර්වාද අපට දෙවා 
                                              වදාළ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් 
                                              වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා කර ඇත. ලෝකය මැවීමට පෙර 
                                              ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අපව තෝරා ගෙන ඇත. 
                                              තම ප්‍රසාදය හා අරමුණ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොට-
                                              ගෙන උන් වහන්සේ අපව දරුකමට පිළිගන්න පිණිස දෙවියන් 
                                              වහන්සේ පෙර නියම කළ සේක. ක්‍රිස්තුස් වහන්සේගේ යාගික 
                                              රුධිරය නිසාවෙන්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ආකාරයට 
                                              අපට මිදීම හා පව්කමාව ලැබී ඇත. එම වරප්‍රසාදය සියලු ප්‍රඥාවෙන් 
                                              හා නුවණින් ඔවුන් වහන්සේ අපට බහුලව ප්‍රදානය කර, උන් 
                                              වහන්සේගේ කැමැත්තේ අභිරහස අපට දැන් වූ සේක. දෙවියන් 
                                              වහන්සේගේ එම අභිප්‍රාය නම්, නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද, 
                                              පොළොවෙහි ද, එනම්, මුළු විශ්වයෙහි ඇති සියල්ල, ක්‍රිස්තුස් 
                                              වහන්සේ යටතේ එක්සත් කිරීම ය. කිතුනු අප ක්‍රිස්තුස් වහන්සේ 
                                              තුළින් තෝරා ගත් සෙනඟකි. ජේසුස් වහන්සේ තුළින් අප ද සත්‍ය 
                                              ධර්මය වන ඔවුන් වහන්සේගේ ගැළවීම සලසන සුබ අස්න අසා එය 
                                              අදහා‍ගෙන, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් 
                                              සහතිකකමේ මුද්‍රාව ලබා ඇත. එම ශුද්ධාත්මයාණන් වනාහී, දෙවියන් 
                                              වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා උන් වහන්සේට අයිති අයට 
                                              ගැළවීම සලසා දෙන අපේ උරුමයේ අත්තිකාරම ය.

සුභාරංචි ප්‍රකාශනය         : මාර්ක් 6 : 7 - 13 
(දොළොස්දෙනාගේ ධර්මදූත සේවය)

                                            ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් දොළොස්දෙනා කැඳවා 
                                            අශුද්ධාත්මයන් දුරු කිරීමේ බලය ඔවුන්ට ලබා දී ඔවුන් දෙදෙනා 
                                            බැගින් ධර්මදූත ‍සේවයට පිටත් කර හැරිය සේක. එම ගමනට 
                                            සැරයටියක් හැර, රොටිවත්, මල්ලක් වත්, පසුම්බිවල මුදල් වත් යන 
                                            කිසිවක් නොගෙන, පාවහන් පයලා, කමිස දෙකක් නොගෙන යන 
                                            ලෙස ඔවුන්ට අණ කළ සේක. "ඔබ යම් කිසි නිවසකට පිවිසි කල, 
                                            එතැනින් පිට වී යන තෙක් එහි ම නවතින්න. යම් තැනක දී ඔවුන් ඔබ 
                                            පිළිගන්නේවත්, ඔබේ වචන අසන්නේවත් නැතිනම් එතැනින් පිට වී 
                                            යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස ඔබේ පාද වල තිබෙන
                                            ධූලි ගසා දමන්නැ" යි කියා ඔවුන්ට අවවාද දුන් සේක. එම දොළොස් 
                                            දෙනා ද පිටත්ව ගොස් සෙනඟ පසුතැවිලි වී සිත් හරවා ගත යුතු ය යි 
                                            දේශනා කළහ. බොහෝ දුෂ්ඨාත්ම දුරු කොට, බොහෝ රෝගීන් ද 
                                            තෙලින් ආලේප කොට සුවපත් කළහ

විශ්වාසිකයන්ගේ යැදුම්
ඔබගේ පිළිතුර :  ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • ආදර දෙවි පියාණෙනි, ප්‍රසාද ස්නාපනයෙන් ඔබ වහන්සේ අපට දී තිබෙන දිව්‍යමය කැඳවීම අනුව දේව වචනය ප්‍රකාශ කරමින් ඔබගේ දහම ලොව පුරා පතල කිරීමට යාමේ දී එය වළක්වාලමින්, ඊට බාධා කරන අය හමුවේ නොසැලී, අධෛර්යයට පත් නොවී, එඩිතරව දිවැසි කාර්යයෙහි නිරතවීමට අවශ්‍ය දේව බලය හා සවිය ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර :  ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • ආධ්‍යාත්මික දේව වරමින් අප පුරවාලන දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන, අපට හිමිකර දුන් දේව පුත්‍රභාවය පිළිගෙන ඊට ගැළපෙන අයුරින් ජීවත්වීමට අවශ්‍ය දේවධර්ම ගුණාංග අප තුළ වැඩි වර්ධනය කරන ලෙස ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර :  ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • ප්‍රේමණිය දෙවි පියාණෙනි, ඔබ වහන්සේ අප වෙත ඇති ඉමහත් දයා ප්‍රේමය නිසා ඔබගේ පුතුණුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට හිමි කර දුන් පව්කමාව හා ගැළවීම අවබෝධ කොටගෙන සමගිවීමේ ප්‍රසාද නිධානයෙන්, මනස්ස්ථාපනයෙන් ඔබ වහන්සේ වෙත නැවත හැරී එන්නට ද, දැහැමි ශුද්ධවන්ත දිවි පෙවෙතක් ගත කිරීමට ද, අවශ්‍ය ශුද්ධාත්ම මග පෙන්වීම ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු. 
ඔබගේ පිළිතුර :  ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • ආදර දෙවි පියණෙනි, ඔබ පුතුණුවන් ශ්‍රාවකයන් දොළොස් දෙනා පිටත් කර හැරීමේ දී දුන් අවවාද පරිදි අපගේ ධර්මදූතයන්ට හා පූජාප්‍රසාදීවරුන්ට ලෞකික තෘෂ්ණා, තාන්ත මාන්න, සැප සම්පත් වැනි මොලොවට පමණක් සීමා වූ දේ වලින් ඉවත් වී, ඔබ වහන්සේට ප්‍රසන්න දැහැමි ජීවිතයක් ගත කරමින් ‍දේව රාජ්‍යය ගොඩ නැගීමට අවශ්‍ය ශුද්ධාත්ම බලය, මග පෙන්වීම හා මෙහෙයවීම දානය කරන ලෙස ඉල්ලා අප ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර :  ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • ආදර දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ අභිප්‍රාය වන නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද, පොළොවෙහි ද මුළු විශ්වයෙහි ද ඇති සියල්ල ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යටතේ එක්සත් කිරීමේ මෙහෙවරට කිතුනු අපට ද දායක වෙමින් ඔබ වහන්සේගේ රාජ්‍යය ගොඩනැංවීමට අවශ්‍ය ප්‍රසාද උපකාර ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර :  ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.   



0 comments:

Post a Comment