Saturday, June 30, 2012

සාමාන්‍ය සමයේ දසතුන්වන ඉරුදින

ජේසුස් වහන්සේ ජායිරස්ගේ දියණියව මළවුන්ගේ උත්ථාන කිරීම

පූජා ඇඳුම් වර්ණය           : කොළ
යාම යැදුම                      : 1 වන සතිය
පළමුවන දේව ප්‍රකාශනය : සලමොන්ගේ ප්‍රඥාව 1 : 13 - 15, 2 : 23 - 24
                                                 මරණය දෙවිඳුන්ගේ ක්‍රියාවක් නොවේ. ජීවමාන අයව 
                                                 වනසාලීමෙන් ඔවුන් වහන්සේට කිසිඳු ප්‍රීතියක් අත් නොවේ. 
                                                 ඔවුන් වහන්සේ සියල්ල මැව්වේ ජීවත් වීමට ය. එබැවින් මිහිපිට 
                                                 සියලු මැවිලි යහපත් ය. 
                                                 මරණයට මිහිතලය කෙරෙහි බලයක් නැත. එහෙත් දෙවියන් 
                                                 වහන්සේ මිනිසා නොමැරෙනසුලු කෙනෙකු කළ සේක. සිය 
                                                 ස්වරූපයට ඔහු මවා වදාළ සේක. මරණය ලොවට පැමිණියේ 
                                                 යක්ෂයාගේ ඊර්ෂ්‍යාවෙනි.

මෙනෙහි කිරීමේ ගීය        : ගීතාවලිය 30 :1, 3 - 5 , 10 - 12
                                                 දෙවියන් වහන්සේ මා උසස් කළ බැවින් ද, මාගේ දුක් ගැන 
                                                 මාගේ සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද මම සමිඳුන්ට ප්‍රශස්ති 
                                                 ගී ගයමි.
                                                 සමිඳුන් මා පාතාලයෙන් ගොඩගත් සේක. මාගේ දිවි රැකගත් 
                                                 සේක. සමිඳුනි, මට කරුණා කළ මැනව. ඔබ මාගේ සරණය වුව 
                                                 මැනව. ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවූ සේක. එබැවින් 
                                                 මා නිහඬව නොසිට ඔබට පසස් ගී ගයන්නෙමි.  

දෙවන දේව ප්‍රකාශනය    : 2 කොරින්ති 8 : 7, 9, 13 - 15
                                                ඇදහිල්ලෙන් ද කතාවෙන් ද දැනගැන්මෙන් ද උද්යෝගීමත්
                                                භාවයෙන් ද ප්‍රේමයෙන් ද පොහොසත් ව සිටින්නාක් මෙන් 
                                                සහනාධාර සේවයෙහි ද පොහොසත්ව සිටින්න.
                                                ත්‍යාගශීලී කරුණාවන්ත අපගේ ස්වාමින් වන  ජේසුස් ක්‍රිස්තුස් 
                                                වහන්සේ ධනවත්ව සිටි නමුත්, තම දිළිඳුකම කරණකොටගෙන 
                                                අපව ධනවත් කරන පිණිස අප වෙනුවෙන් දිළිඳු වූ සේක. මෙයින් 
                                                අදහස් කරන්නේ, තමන් අමාරුවේ වැටී අනුනට සහනය දීමක් 
                                                නොව, සාධාරණකමක් ඇති වීම ය. අපගේ හැකියාවෙන් 
                                                අනුන්ගේ අගහිඟකම් පිරිමසන්නක් මෙන්, අන් අය ද ඔවුන්ගේ 
                                                හැකියාවෙන් අපගේ අගහිඟකම් පිරිමසාලනු ඇත. මෙලෙස 
                                                දෙපිරිස අතර සාධාරණකමක් ඇති වනු ඇත. 

සුභාරංචි ප්‍රකාශනය         : මාර්ක් 5 : 21 - 24, 35 - 43 
(ජායිරස්ගේ දියණිය මරණින් උත්ථාන කිරීම)
                                                ධර්මශාලා ප්‍රධානියෙකු වූ ජායිරස් නමැත්තා ජේසුස් වහන්සේ 
                                                වෙත පැමිණ ඔවුන් වහන්සේගේ පාමුල වැටී, "මගේ පුංචි දුව 
                                                මරණාසන්නව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් 
                                                ඈ පිට අත තැබුව මැනව" යි ආයාචනය කළේ ය. ජේසුස් වහන්සේ 
                                                ද ඔහු සමග ඔහුගේ නිවසට වැඩම කළ සේක. එහෙත් අතරමග දී 
                                                ධර්මශාලා ප්‍රධානියාගේ ගෙදරින් සමහරු අවුත් ඔහුගේ දියණිය 
                                                මරණයට පත් වූ බැවින් ජේසුස් වහන්සේව නොවෙහෙසන ලෙස 
                                                දැන්වූහ. එහෙත් ජේසුස් වහන්සේ එම පණිවුඩය නොසලකා, "බිය 
                                                නොවන්න, ඇදහිල්ල ඇතිව සිටින්නැ"යි ජායිරස්ට  කී සේක. 
                                                ජේසුස් වහන්සේ ඔහුගේ නිවසට පැමිණ, පේදුරු, ජාකොබ් හා 
                                                ජොහාන් යන ගෝලයන් තිදෙනා සමග නිවස තුළට වැඩිය සේක. 
                                                ජේසුස් වහන්සේ ද එම නිවසේ සිටි කලබල වී විලාප හා ළතෝනි 
                                                නගන්නන් දැක, "ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් 
                                                මන්ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය," යි කී විට ඔවුහු ඔවුන් 
                                                වහන්සේට සරදම් කළහ. එවිට ජේසුස් වහන්සේ මළ දැරියගේ 
                                                මව ද පියා ද හා ශ්‍රාවකයන් තිදෙනා ද සමග එම දැරිය අසළට 
                                                ගොස්, ඇගේ අතින් අල්ලා, "තලිතාකුමි" යි කී සේක. එහි අර්ථය: 
                                                "දැරිය, මම ඔබට කියමි, නැගිටින්න" යන්න ය. දොළොස් හැවිරිදි 
                                                ඇය එකෙණෙහි ම නැගිට ඇවිද්දා ය. සියල්ලෝ බියපත් වූහ. මේ 
                                                බව කිසිවෙකුට නොකියන ලෙස තදින් අවවාද කළ ජේසුස් 
                                                වහන්සේ එම දැරියට කන්නට යමක් දෙන ලෙස නියම කළ සේක.

විශ්වාසිකයන්ගේ යැදුම්
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • අපගේ ගැළවුම්කාර ආදර දෙවි පියාණෙනි, තමන් වහන්සේගේ ස්වරූපයට අපව මවා වදාළ ඔබ වහන්සේ ඊර්ෂ්‍යාකාර සාතන්ගේ සියලු ආකාර උවදුරු වලින් හා මළපත් වලින් අප ගළවා ඔබට ප්‍රසන්න දැහැමි දිවියක් ගත කිරීමට අවශ්‍ය දේව මග පෙන්වීම් හා හැකියාව ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • අපට ජීවිතය දුන් දෙවි පියාණෙනි, අපගේ පණ නළ සුරකින ඔබ වහන්සේ මෙලොව මිනිස් සතුරු උවදුරු වලින් අපව නිරතුරු ආරක්ෂා කොට, සියලු විපතින් අපව මුදා ඔබ වහන්සේ සෙවනෙහි සැමවිට රුඳී සිටින්නට අවැසි වරම් ‍ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • දිව්‍යමය සුවය දෙන ආදර දෙවි පියාණෙනි, විවිධ දුක් පීඩා වල දී ඔබව සොයා ඔබ වහන්සේගේ සරණය සුවය පතා පැමිණෙන සියලු අසරණයන් දෙස කාරුණික බැල්ම හෙළා, ඔවුන්ට පිහිටාධාර වී ඔවුන්ගේ සැනසීම හා ගැළවීම සලසන ලෙස ඉල්ලා අප ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • අපගේ නිරතුරු පිහිටාධාරය වන දෙවි පියාණෙනි, විවිධ ආර්ථික දුෂ්කරතා හා ජීවිත ගැටලු නිසා අසරණ වී සිටින හා මිනිස් මූලික අවශ්‍යතා පවා ඉටු නොවීම නිසා පීඩාවට පත්ව සිටින ඔබගේ දරුවන් වන දිළිඳු පීඩිත අය වෙත සානුකම්පිතව බලා, ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම මගින් සමාජ සාධාරණත්වය ගොඩනැගීමට ඇති හැකි සැමගේ සිත් පොළඹවන ලෙස ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • දිව්‍යමය වෛද්‍යවරයාණන් වූ දෙවි පියාණෙනි, ලොවේ නන් දෙස වෙසෙන නොයෙක් රෝගාබාධ හා ව්‍යාධීවලින් පීඩා විඳින අසරණ රෝගීන්ට ඉක්මන් සුවය ලබා දී, දැඩි මහළුවියේ හා ගිළන්බවේ සිටින අයව සපර්ශ කර, මරණාසන්න වූවන්ගේ ගැළවීම සළසන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව. 

0 comments:

Post a Comment