Sunday, June 10, 2012

දිව්‍ය සත්ප්‍රසාදීය ජේසුස් වහන්සේව හමුවෙමු

අද කතෝලික අප සැම දෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා රුධීරයේ මංගලෝත්සවය හෙවත් දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය ගාම්භීර ලෙසින් පවත්වනවා. මෙය කතෝලික සභාව පැවැත්විය යුතු විශේෂ මංගල්‍ය වලින් එකක් ලෙස සලකනවා. අන්තිම රාත්‍රී භෝජනයේ දී ජේසුස් වහන්සේ තම ශ්‍රී ශරීරය හා රුධීරය තම ශ්‍රාවකයන්ට බෙදා දෙමින් එය ඔවුන් වහන්සේව සිහි කිරීම පිණිස සිදු කරන ලෙසට නියම කර තිබෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් ගණනාවක දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ මගින් විවිධ ප්‍රාතිහාර්ය ගණනාවක් සිදු වී තිබෙනව. ඒ නිසා කතෝලික සභාව දිව්‍ය පූපය තුළ වැඩ සිටින උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට මෙලෙස විශේෂ ආකාරයකින් වන්දනා නමස්කාර කරනවා.

අද නික්මයාම පොතේ 14 : 3 - 8 හි සඳහන් පළමුවන දේව ප්‍රකාශනයෙන් අපට පෙන්වා දෙන්නේ ඉශ්රායෙල් ජනතාව මිසරයේ (ඊජිප්තුවේ) වහල්කමින් නිදහස් වී පොරොන්දු දේශයට යන අතරමග දී මෝසස්තුමා මාර්ගයෙන් දෙවියන් වහන්සේ සමග ගිවිසුමක් ඇති කරගන්නා ආකාරය යි. සාමාන්‍යයෙන් පුරාණ ගිවිසුමේ ඉශ්රායෙල් ජනතාව ගිවිසුම් ඇති කරගැනීමේ දී සත්ත්ව රුධීරය භාවිත කරනවා. එමගින් ඔවුන් පෙන්වන්නේ ගිවිසුම තම ප්‍රාණය මෙන් රැකිය යුතු බව සහ එම ගිවිසුම මගින් ලබන ආශිර්වාදය යි. ගිවිසුමක සාමාන්‍යයෙන් කොටස් කිහිපයක් දක්නට ලැබෙනව. 
  1. ගිවිසුමේ පළමු පියවර දෙවියන් වහන්සේ ගනු ලැබීම (එනම්, ගිවිසුම කුමක්ද? එහි නීතිරීති හා කොන්දේසි මොනවාද? ගිවිසුම සිදු කරන්නේ කෙසේද? යනාදී සියල්ල තීරණය කරන්නේ දෙවියන් වහන්සේ ය.)
  2. ගිවිසුමක නීතිරීති හා කොන්දේසි තිබීම
  3. දේවාශිර්වාද හා දඬුවම් ප්‍රකාශ කිරීම
  4. ගිවිසුම ස්ථිර කිරීමට ආගමික වත්පිළිවෙතක් අනුගමනය කිරීම
ඉශ්රායෙල් ජනතාව සීනයි පාළුකරයේ දී සිදු කළ මෙම සීනයි ගිවිසුමේ දී ද මෙම ලක්ෂණ දක්නට ලැබෙනව. සීනයි ගිවිසුමේ නීති පද්ධතිය "දස පණතයි." මෝසස්තුමා ගිවිසුමේ ප්‍රකාර ආගමික වත්පිළිවෙත සිදු කරමින් සත්ත්ව රුධීරය භාජනයකට එකතු කර, ඉන් අඩක් ගල් වලින් සෑදූ පූජාසනය මත වත් කොට, ඉතිරි ඒවා දස පණත කියවා ප්‍රතිඥා දීමෙන් පසුව ජනතාව මත ඉසිනු ලබනව. මෙමගින් ඉශ්රායෙල් ජනතාව දෙවියන් වහන්සේට අයිති කැපවුණු රාජකීය පූජක ජන කණ්ඩායමක් බවට පත් වෙනව. 

දෙවන දේව ප්‍රකාශනය වන හේබ්‍රෙව් 9 : 11 - 15 කොටසින් පෙන්වා දෙන්නේ, උත්තම පූජකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, වඩා උතුම් හා වඩා සම්පූර්ණ, මිනිස් අතින් නොසෑදූ දෙවියන් වහන්සේ මැවූ මෙම භෞතික මැවිල්ලට අයිති නොවන මහා පූජකයාණෝ බව යි. ඔවුන් වහන්සේ සාමාන්‍යයෙන් ජනතාව දෙවියන් වහන්සේට යාග වශයෙන් පුදන එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, කුරුසිය මත සිට හෙළූ තමන්ගේම ශ්‍රී රුධීරයෙන් අප උදෙසා සදාතන විමුක්තිය ලබාගෙන සදහට ම එක්වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේකැ යි හේබ්‍රෙව් ලිපියේ කතුවරයා ප්‍රකාශ කර තිබෙනව. මෙහි අදහස කුමක්ද? ඉශ්රායෙල් ජනතාව පවත්වන මංගල්‍ය අතරින් "වන්දි ගෙවීමේ මංගල්‍ය" හෙවත් "පව්කමා දිනය" ඉතා විශේෂ දිනයක්. එම දිනයේ දී උත්තම පූජකවරයා සත්ත්ව රුධීරය රැගෙන ජෙරුසලම් දේව මාලිගාවේ අතී ශුද්ධස්ථානය නමැති ගිවිසුම් කරඬුව තැන්පත් කර ඇති ස්ථානයට ගොස් "යාවේ" නමින් දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කරමින් සියලු ඉශ්රායෙල් ජනයාගේ පාප වෙනුවෙන් දෙවියන් වහන්සේට යාච්ඤා කරනව. ජේසුස් වහන්සේ තම රුධීරය කුරුසිය මත හෙළා තම ජීවිතය පව්කාර අප වෙනුවෙන් දෙවියන් වහන්සේට යාගයක් සේ පූජා කරමින් අපට පව් කමාව ද, ගැළවීම හා දේව සම්බන්ධතාවය ද හිමි කර දුන්නා. එමගින් ජේසුස් වහන්සේ ජනතවගේ පව් නසන යාගය ද, යාගික බිලිපඬුර ද යාගය පුදන උත්තම පූජකයාණෝ ද වුණා. එම නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධීරය කරණකොටගෙන දෙවියන් වහන්සේ අපගේ සාක්ෂිය පිරිසිඳු කර තිබෙනව. මේ හේතුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කැඳවීම ලැබූ අයට හා ඔවුන් වහන්සේව අදහාගෙන මිය යන අයට සදාතන ජීවනය හිමි වන බව දෙවන දේව ප්‍රකාශනයෙන් අපට පෙන්වා දෙනවා.

අද සුභාරංචි ප්‍රකාශනය වන මාර්ක් 14 : 12 - 16, 22 - 26 කොටසින් අපට ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී පාස්කු භෝජනය පැවැත්වූ ආකාරය පෙන්වා දෙනවා. ජේසුස් වහන්සේගේ නියමය අනුව ඔවුන් වහන්සේගේ ගෝලයන් දෙදෙනෙක් ලොකු උඩුමහල් කාමරයක පාස්කු භෝජනය පිළියෙල කරනව. සාමාන්‍යයෙන් පාස්කු භෝජනයට තිබිය යුතු විශේෂ ආහාරපාන වර්ග හා ද්‍රව්‍ය තිබෙනව.
  • නියමිත ලෙස පිළියෙල කළ පාස්කු බැටළුවාගේ මාංශ (ක්‍රිස්තු පූර්ව 167 න් පසුව මෙය අනිවාර්ය නොවීය.)
  • නුමුහුන් රොටි ( මින් එක් රොටියක් අන් රොටි වලට වඩා ප්‍රමාණයෙන් විශාල ය.)
  • රතු පැහැති මිදියුෂ කුසලාන හතර (මින් එක් කුසලානයක් අනෙක් ඒවාට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර, එහි වැඩි මිදියුෂ ප්‍රමාණයක් තිබේ. සාමාන්‍යයෙන් රතු පැහැති මිදියුෂ එදිනට යොදා ගනියි.)
  • තිත්ත රසැති පළා වර්ගයක් 
  • පළතුරු මිරිකා ගත් යුෂ 
  • රොටි පොඟවා ගැනීමට අච්චාරුවක් වැනි ව්‍යාංජනයක්
නුමුහුන් රොටි වලින් සංඛේතවත් කරන්නේ, ඉශ්රායෙල් ජනතාව සීනයි පාළුකරයේ දී අනුභව කළ "මන්නා" නමැති භෝජනය යි. රතු පැහැති මිදියුෂ වලින් සංඛේතවත් කරන්නේ, මිසරයේ කුළුඳුළන් මරණයට පත් කිරීමේ පළමු පාස්කු උත්සවයේ දී ඉශ්රායෙල් ජනයාගේ ජීවිත "මරණයේ දූතයාගෙන්" ගැළවීම ලැබීම පිළිබඳ සිද්ධිය යි. තිත්ත පළා අනුභව කළේ, ඔවුන් මිසරයේ දී වහලුන් ලෙස විඳි අධික දුක් පීඩා මතක් කිරීමට ය. පළතුරු යුෂ කරුනු දෙකක් වෙනුවෙන් භාවිත කළා . ඉන් පළමුවැන්න නම්, පොරොන්දු දේශයේ දී ඔවුන් ලැබූ සෞභාග්‍යමත් ජීවිතය සිහිකර තුති පිදීම ය. වෙැන්න නම් තිත් පළා වල තිත්ත රසය අවම කිරීම ය. මීට අමතරව පුරාණ ගිවිසුම ද පාස්කු භෝජන මේසය මත තිබිය යුතුය. හේතුව, ඔවුන් භෝජනය අනුභව කරන අතරවා‍රයේ දී ඉශ්රායෙල් ජනයා වහලුන් ලෙස දුක් විඳි ආකාරයක්, දේව මැදහත්කමින් ඉන් ගැළවීම ලැබූ ආකාරයත්, පොරොන්දු දේශය අත්පත් කර ගැනීමත් පිළිබඳ කථන්දරය කෑම මේසයේ ප්‍රධානස්ථානය ගන්නා ගෘහමූලිකයා විසින් කියවනු ලැබීම ය. භෝජනයට සහභාගි වන චර්මඡේදන පිලිවෙත සිදු කර ඇති කුඩාම දරුවා අසන තිත්ත පළා අනුභව කිරීමේ හේතුව පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරක් ලෙසින් ගෘහ මූලිකයා මෙම ඓතිහාසික කථන්දරය කියයි. එසේම ගීතාවලිය පොතේ 112 - 113, 114 - 117 හා136 යන "‍හළෙල්" නම් වූ පාස්කු ගීත ගායනය ද සිදු කෙරේ. මෙය සාමාන්‍ය උත්සවයක භෝජන සංග්‍රහයක් නොව, ඉශ්රායෙල් ජනතාව දෙවියන් වහන්සේ වෙතින් ලැබූ විමුක්තිය සමරන ආගමික භෝජනයකි. 
සාමාන්‍යයෙන් ජුදා සම්ප්‍රදායට අනුව, ලොකු රොටිය රැගෙන ගෘහමූලිකයා විසින් එය ආශිර්වාද කරනු ලබනව. මෙය ග්‍රික භාෂාවෙන් "එව්ලෝගේසාස්" යනුවෙන් හැඳින්වෙනව. සාමාන්‍යයෙන් ජුදා රබ්බිවරුන් පාස්කු භෝජනය තම ගෝලයන් සමග පවත්වන විට දී, ලොකු රොටිය ආසිරි ගන්වමින් හා මිදියුෂ කුසලාන මත තුති පුදමින් කිසියම් අවවාදාත්මක ප්‍රකාශනයක් ගෝලයන්ට ප්‍රකාශ කිරීම කරනව. ජේසුස් වහන්සේ ද එම සම්ප්‍රදාය අනුගමනය කරමින් අන්තිම රාත්‍රී පාස්කු භෝජනයේ දී ලොකු රොටිය රැගෙන එයට ආශිර්වාදය පවසා, "ගන්න, මේ මාගේ ශරීරය" යි ප්‍රකාශ කළ බව කියවේ. ඉන්පසුව ඔවුන් වහන්සේ මිදියුෂ රැගත් ලොකු කුසලානය ගෙන ඊට තුති පුදා, "මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ..." යනුවෙන් ප්‍රකාශ කළා. "එව්කරිස්ටෙසාස්" යන ග්‍රීක් වචනයෙන් හැඳින්වෙන ජුදා සම්ප්‍රදායේ එන මෙම "තුති පිදීම" දෙවියන් වහසේ පළමු පාස්කුවේ දී මරණයේ දූතයාගෙන් ඉශ්රායෙල් ජනතාව ගළවා ගැනීම හා පොරොන්දු දේශය අත්පත් කර දීම පිළිබඳ තුති පිදීමක්. ජේසුස් වහන්සේ එම "තුති පිදීම" යන්නට "මහා පව්කමා දින" මංගල්‍යයේ දී උත්තම පූජකවරයා කරන සත්ත්ව රුධීරය පූජා කොට ජනයාගේ පව් වෙනුවෙන් යැදීමේ අවස්ථාව සම්බන්ධ කර තිබෙනව. ජේසුස් වහන්සේ ඊට පසු සිකුරාදා දින කුරුසිය මත රුධිරය හෙළමින් කරන ජීවිත පූජාවේ සංඛේතයක් වන මෙම රුධිර කුසලානය සියලු ලෝවැසි ජනතාවගේ ගැළවීම හා ජීවනය වෙනුවෙන් ඔප්පු කරන්නක් බව පෙන්වා දෙනව.
අපේ කතෝලික ජනවන්දනාවේ කේන්ද්‍රය වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ මගින් අද බොහෝ ප්‍රාතිහාර්ය සිදු වී තිබෙනව. ඒසේ වුණත් දිව්‍ය සත්ප්‍රසාදයට තිබෙන ගරුත්වය හා විශ්වාසය ටිකෙන් ටික ඈත්වන බවක් පේනවා. අපගේ පියවී ඇසට නොපෙනුණත් ආශිර්වාදිත පූපය මත ජේසුස් වහන්සේ ජීවමානව වැඩ සිටින බව ඉතාලියේ ලැන්සියානෝ නගරයේ හා දකුණු කොරියාවේ නාජු නගරයේ වූ දිව්‍ය සත්ප්‍රසා‍දීය ප්‍රාතිහාර්ය වලින් පැහැදිළි වෙනව. දිව්‍ය සත්ප්‍රසාදය වනාහී ජේසුස් වහන්සේ තම තරුණ ජීවිතය අප වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ හා අප සමග බෙදා ගැනීමේ ක්‍රියාවක්. දිව්‍ය සත්ප්‍රසාදීය භෝජනයට සහභාගි වන අප සැමදෙනා ද පරිත්‍යාගය, බෙදා ගැනීම, සමාවදීම, ඉවසීම, අන් අයට උදව්වීම හා අන් අය වෙනුවෙන් වැයවීම යනාදී දේව රාජ්‍යමය වටිනාකම් පෙරදැරි කරගෙන ජීවත්වීම අවශ්‍ය වෙනව. ජේසුස් වහන්සේ තම ජීවිතය බෙදාගත්තාක් මෙන් අප සතු අතිරික්ත දේ අන් අය සමග බෙදාගත යුතුයි. සමාජයේ අසරණයන් දුටු විට ඉවත බලා නොගෙන හැකි පමණින් ඔවුන්ට ආධාර උපකාර කිරීමටත්, ඔවුන්ගේ ජීවිත නංවාලීමටත් උත්සහ ගැනීමට හැකි නම් කොපමණ අගනේ ද? සමාජයේ කොන් වූවන්ව පිළිගෙන ඔවුන්ට සමාජය තුළ හිමි නිසි තැන ලබා දීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් රැක දීම අවශ්‍ය ය. සමාජයේ නොමග ගියවුන්ගේ ජීවිත සුමගට ගැනීමට කිසියම් මග පෙන්වීමක් කිරීම අපගේ පරම යුතුකමක්. නොයෙකුත් ජීවිත ප්‍රශ්න, ගැටලු හා අභියෝග නිසාවෙන් දුකට පත් වූ අය ද, සමාජ අසාධාරණය නිසා පීඩාවට පත් වූ අය ද, වෙනුවෙන් ඔබට හඬක් නැගිය හැකි නම් ඔබ නියම වීරයෙකි. අසරණ පීඩිතයන්ට පිහිට වීමට යාමේ දී, ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමට යාමේ දී, සමාජ අසාධාරණය හමුවේ නැගී සිටින විට ඔබගේ ජීවිතයෙන් පදාසයක් ගැළවී යන විට, තෙරේසා මව්තුමිය මෙන් ඔබ සැම සතු දෙයක් ම ඉවත දමා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඔවුන් වහන්සේ මත යැපෙමින් ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරන විට ඔබ දිව්‍ය සත්ප්‍රසාදීය ජේසුස් වහන්සේ සමග සම්බන්ධ වී ඔවුන් වහන්සේගේ ජීවිතය බෙදා ගන්නවා. සෑම දිව්‍ය පූජාවක් තුළ ම දිව්‍ය සත්ප්‍රසාදය අනුභව කරන අප සැමට මෙම අභියෝගය තිබෙනව. එම අභියෝගය බාරගෙන ක්‍රිස්තුස් වහන්සේට සැබෑ සාක්ෂි දැරීමක් කරමින් දැහැමි ජීවිතයක් ගත කිරීමට ඔබ සැමට දේවාශිර්වාදය හා පිහිට ලැබේවා!          
  
           
           
           
           
          
           

0 comments:

Post a Comment