Saturday, June 16, 2012

ධර්මිෂ්ඨතාවය පැළඳගෙන ජීවිත සූදානමින් සිටිමු - ඉරුදින දේශනය

දෙවන වතිකාන ධර්ම සංඝායනාව අපට පෙන්වා දෙන ආකාරයට කිතුනුවා දෙවියන් වහන්සේ තුළ සිට වන්දනා ගමනක යෙදීමට මෙලොවට පැමිණි වන්දනාකරුවෙකි. ඔහු මෙලොව ගත කරන්නේ තාවකාලික ජීවිතයකි. ඔහු තම ජීවිත ගමන අවසන් කොට නැවත ස්වාමින් වහන්සේ වෙතට යා යුතු ය. එහෙත් ඇතැම් විට ‍එඬේරාණන් වෙතින් මග හැරී නොමගට යන බැටළුවා සේ තමන්ගේ සිතැඟි වලට වහල් වී අප ද දේව මාර්ගයෙන් ඉවත්ව යන්නෙමු. තාවකාලික සුවය හා සතුට ලබා දෙන ලෞකික සැපත දුටු විට ඊට ඇළුම් වන්නෙමු. එහෙත් නියම සතුට හා සුවය අපට ලැබෙන්නේ දෙවියන් වහන්සේ තුළ පමණකි. ඒ බව සාන්ත ඔගස්ටින් තුමා ප්‍රකාශ කළේ, "ඔබ වහන්සේ සමග මා සම්පූර්ණයෙන් ම එක් වූ විට දුක් වේදනා හෝ දුර්පරීක්ෂා හෝ මට ඇති නොවේ. ඔබ වහන්සේ මා සම්පූර්ණයෙන් මා වෙළා ගත් විට මගේ ජීවිතය සර්ව සම්පූර්ණ වේ," යනුවෙනි.


අද පළමුවන දේව ප්‍රකාශනය වන එසකියෙල් 17 : 22 - 24 හි දැක්වෙන ආකාරයට මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ උස් වූ කිහිරි ගස් මුදුනෙන් රිකිල්ලක් ගෙන එය සිටුවා, එහි මුදුන් රිකිලි වලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන බවත්, එය දළු ලා ලියලා එහි පළදාව හට ගන්නා අතර, පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු ඒ යට ලගින බවත්, ස්වාමින් වහන්සේ උස ගස පහත් කර, මිටි ගස උසකොට, සරු ගස වියළි කර, වියළි ගස සරු කරන බවත්, ස්වාමින් වහන්සේ වදාරන දෙය එලෙසම ඉටු කරන බවත් ප්‍රකාශ වේ. බයිබල් විශාරදයන්ගේ අදහස් වලට අනුව, මෙම කොටස වඩාත් අදාළ වන්නේ ජේසුස් වහන්සේට හා කතෝලික සභාවට ය. දෙවියන් වහන්සේ උස් කිහිරි ගස් මුදුනින් රිකිල්ලක් ගෙන සිටුවීම යන්න ජේසුස් වහන්සේව අප අතරට එවා ඔවුන් වහන්සේගේ බලවත් ක්‍රියාවන් මගින් අති උසස් මහිමාන්විත තත්ත්වයට ඔසවන බව ය. කන්ද යනු දෙවියන් වහන්සේ වැඩ සිටින ස්ථානය ය. ජේසුස් ස්වාමින් වහන්සේ මගින් ස්ථාපිත කළ කතෝලික සභාව ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ලොව පුරා පැතිර යමින් ඇදහිළිවතුන්ට සෙවන සුවය හා ගැළවීම උදා කරන සේක. දෙවියන් වහන්සේ ජේසුස් ස්වාමින් වහන්සේ තුළින් ලබා දෙන එම ගැළවීම ප්‍රතික්ෂේප කර ආත්මාර්ථකාමී අහංකාර වංචනික ජීවිත ගත කරන අයව පහත් කොට, බැහැපත් සිතින් දෙවිඳුන් සොයා එන අවංක දේව දිළින්ඳන්ව උසස් කොට ගැළවීම ලබා දෙන සේක. 


අද දෙවන දේව ප්‍රකාශනය වන ශුද්ධ වූ පාවුළු තුමා කොරින්තිවරුන්ට ලියූ දෙවන හසුනේ 5 : 6 - 10 කොටසින් ශාරීරික ස්වභාවයට ගැති නොවී දෙවියන් වහන්සේ තුළ ජීවත් වීමේ අවශ්‍යතාවය අවධාරණය කොට ඇත. අප සැම විට ම ධෛර්යවත්ව සිටිය යුතු බව දක්වයි. අපගේ ශරීර නිවසකට සමාන කොට දක්වන පාවුළු තුමා, එම නිවසෙහි අප සිටින තුරු, අප ස්වාමින් වහන්සේගෙන් ඈත් වී සිටින බව පෙන්වා දෙයි. එහෙත් කිතුනු අප ජීවත් වන්නේ දැකීමෙන් නොව ඇදහීමෙන් ය. එබැවින් ශරීරය නම් වූ නිවසින් බැහැර වී ස්වාමින් වහන්සේ තුළ ජීවත් වීමට උත්සහ දැරිය යුතු ය.  අප ශරීරය නමැති නිවස හෝ ස්වාමින් වහන්සේ නමැති නිවස හෝ  අප කුමන නිවසක ජීවත් වූවත් ස්වාමින් වහන්සේව ප්‍රසන්න කිරීමට ක්‍රියා කළ යුතු බව දක්වා ඇත.  මන්ද, අප සියලු දෙනා ම තම ශාරීරික ජීවිතයේ දී කළ හොඳ - නරක අනුව සුදුසු විපාක ලැබීමට කෙදිනක හෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටීමට සිදුවන්නේ ය.ඒ ගැන සිතා සිහි නුවණින් ක්‍රියා කිරීම වැදගත් ය. මන්ද, අපගේ මරණය හා එහි ස්වභාවය අපට අභිරහසක් වන බැවිනි. 


අද සුභාරංචි සුභාරංචි ප්‍රකාශනය වන මාර්ක් 4 : 26 - 34 හි සඳහන් වන්නේ ජේසුස් වහන්සේ දෙසූ වැඩෙන බීජය පිළිබඳ උපමාව ය. ගොවියා බීජ වැපිරූ කල, ඔහුට නොදැනීම බීජ පැළවී, වැඩී, පළමුව දළුව ද දෙවනුව කරළ ද ඉන්පසුව කරල පුරා ධාන්‍ය ද හට ගන්වයි. ගොයම පැසුණු කල ගොවියා වහාම අස්වැන්න කැපීමට දෑකැත්ත යොදයි. ගොවියා තමන් වැපිරූ බීජ පැළවී වැඩි වර්ධනය වන ආකාරය නොදනී. ඔහු නිදා සිටිය දීත් අවදිව සිටිය දීත් එම බීජ වැඩි වර්ධනය වේ. පසුව ඔහු දකින්නේ වැඩුණු ගොයම හා එහි අස්වැන්න ය. එවිට ඔහු අස්වැන්න නෙළා ගැනීමට ක්‍රියා කරයි. මෙම උපමාවේ දැක්වෙන බීජ නම් සභාව ය. එය වැඩෙන්නේ ලෝකය නැමැති පොළොව මත ය. එම සභාව නැමැති බීජය පැළ කළේ දෙවියන් වහන්සේ නමැති ගොවියා ය. කිතුනු සභාවේ වර්ධනය හා ව්‍යාප්තිය අපට නොපෙනේ; නොදැනේ. ක්‍රමයෙන් වර්ධනය වී යන කිතුනු සභාවේ අස්වැන්න වන ශුද්ධවන්තකම හා ඇදහිල්ල ය. ගොවියා වන දෙවියන් වහන්සේ ස්වකීය විනිශ්චය වන දෑකැත්ත යුගය අවසානයේ භාවිත කරන සේක. දෙවියන් වහන්සේගේ රාජ්‍යයයේ උදාවත් එහි වර්ධනය හා පැවැත්මත් අවසානයත් මේ ආකාර වේ. 


නූතන සමාජයේ බොහෝ දෙනා දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ක්‍රියාකාරීත්වය හා ශුද්ධ වූ සභාවේ ධර්මදූතික සේවය ප්‍රශ්න කිරීමට හා විවේචනයට භාජනය කරති. දෙවියන් වහන්සේ වැඩසිටිත් නම්, ලොවේ මෙවැනි අපරාධ සිදු වන්නේ කෙසේද? ඒවාට ඔවුන් වහන්සේ නිහඬව සිටින්නේ මන්ද? අපරාධකරුවන් නිදැල්ලේ යහතින් සිටිත් දී දැහැමියන්ට කරදර හා විපත් පැමි‍ණ විනාශ වන්නේ ඇයි? යනුවෙන් ප්‍රශ්න කරති. මෙවැනි ගැටලු වලට හේතුව ඇදහිල්ල හීනවීම, දෙවියන් වහන්සේ ගැන නොදැන සිටීම, දේව වචනය කිසි විටෙක අධ්‍යයනය නොකිරීම හා තම බුද්ධිය හා හැකියාවන් පිළිබඳව ඕනෑවට වඩා ඉහළින් සිතා සිටීම ය. අසම්පූර්ණ ඥානයෙන් ‍සම්පූර්ණ දෙවියන් වහන්සේව පූර්ණ ලෙස අවබෝධ කර ගත හැකිද? මැවුම්කරුගේ ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශ්න කිරීමට දුර්වල මැවිල්ල කවරෙක්ද? ඊට ඇති අයිතිය කුමක්ද? අවශ්‍ය වන්නේ මිනිස් අහංකාරය ඉවත දමා දේව පණත් ඉටු කරමින් දෙවියන් වහන්සේට කීකරු වී ඔවුන් වහන්සේට වඩ වඩාත් සමීප වීමට උත්සහ දැරීම ය.  මිනිසා හා ලෝකය පිළිබඳ දේව ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශ්න කිරීමට වඩා ඉන් ප්‍රකාශ වන දේව පණිවුඩය අවබෝධ කරගෙන ඒ අනුව අප වඩාත් දැහැමි වීමට උත්සහ කිරීම ය.  

0 comments:

Post a Comment