Sunday, June 3, 2012

ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍යය


පෙන්තකොස්ත මංගල්‍ය ඉරුදිනට පසු ඉරිදා කතෝලික සභාව "ශුද්ධ වූ ත්‍රිත්වයික ඉරුදිනය" මහා උත්සවශ්‍රීයෙන් පවත්වයි. දෙවියන් වහන්සේ  මහෝත්තම දෙවි පියාණන් වහන්සේ ලෙසින් ද, මෙලොවට මනුෂ්‍ය ස්වරූපයෙන් වැඩම කළ පුත්‍රයාණන් වහන්සේ ලෙසින් ද, ඔවුන් වහන්සේව ඒකාබද්ධ කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ලෙසින් ද වැඩවසමින් අපට අනාවරණයවීම විශ්වාස කිරීම හා නමස්කාර පූර්වකව තුති ප්‍රශංසා කිරීම මෙදින දී සිදුවේ. 
ශුද්ධ වූ ත්‍රිත්වයේ වැඩසිටීම මිනිස් මනසින් අවබෝධ කර ගැනීමට හා තර්ක විද්‍යානුකූලව පහදා දීමට නොහැකි තරම් වූ මහා අභිරහස්‍යමය වූවකි. වරක් සාන්ත ඔගස්ටින් තුමා මුහුදු වෙරළේ ඇවිද යමින් ශුද්ධ වූ ත්‍රිත්වයේ අභිරහස විසඳා ගැනීමට උත්සහ දැරුවේ ය. එහි දී මුහුදු වෙරළේ කුඩා වළක් හාරා සිප්පි කටුවකින් මුහුදු ජලය එයට පුරවමින් සිටි කුඩා දරුවෙකු දැක, "ඔය ළමයා කුමක් කරන්නේ දැ" යි විමසු විට"මුහුදේ ජලයේ වළට දමා මුහුද සිඳුවීමට යනවා" යැයි පිළිතුරු දුන්නේ ය. එවිට, "අනේ ඔබ වගේ මෝඩ දරුවෙක්!  මේ මහා සප්ත සාගරය ඔය කුඩා වළ තුළට දමන්න පුළුවන් ද?" යි ඇසූ ඔගස්ටින් තුමාට එම කුඩා දරුවා,"ශුද්ධ වූ ත්‍රිත්වයේ මහා අභිරහස ඔය කුඩා මොළයෙන් විමසා තේරුම් ගන්න උත්සහ දරන ඔබ මටත් වඩා මෝඩයෙක්" යැයි පිළිතුරු දී නොපෙනී ගියේ ය. එම දේව දර්ශනයෙන් තමාගේ ඥානයේ දුර්වලතාවය පසුව එතුමා තේරුම් ගත්තේ ය. සාන්ත ඔගස්ටින් තුමාගේ ජීවිත කතාවේ සඳහන් වන එම සිද්ධියෙන් ශුද්ධ වූ ත්‍රිත්වයේ අභිරහස අසම්පූර්ණ බුද්ධියක් හිමි මිනිසාට තර්කයෙන් හෝ විද්‍යාත්මක පර්යේෂණයෙන් හෝ නොව ගැඹුරු ඇදහිල්ලෙන් පමණක් තේරුම් ගත හැකි සත්‍යතාවයක් බව පෙන්වයි.
සාන්ත තෝමස් ඇක්වයිනාස් තුමා Summa Theologica නමැති තම දේව ධර්ම කෘතියේ තර්ක පහක් දක්වමින් දෙවියන් වහන්සේගේ ජීවමාන ත්‍රිත්වයික වැඩසිටීම පිළිබඳව කරුණු පහදා ඇත. කෙසේ වුව ද දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍යය අවබෝධ වන්නේ ඇදහිල්ලෙන් හා දේව ප්‍රේමයෙන් ඔවුන් වහන්සේව දෛනික ජීවිතය තුළ අත්දකිමින් ඔවුන් වහන්සේට සමීප වන තරමට ය.
ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ ශුද්ධ වූ ත්‍රිත්වයික සංකල්පය පැහැදිළිව දැකිය නොහැකිය. මන්ද, පුත්‍රයාණන් වහන්සේ මිනිස්බව ගෙන මෙලොවට වැඩම කිරීම සිදු වූයේ නව ගිවිසුම තුළ වීම ය. එතෙක් "මෙසියස්" නමින් ගැළවුම්කරුවාණන් පිළිබඳ සංකල්පය පුරාණ ගිවිසුම පුරා විහිදී ගොස් තිබුණි. නව ගිවිසුම ආරම්භයේ පටන් ම ශුද්ධාත්මයාණන් වහන්සේ ද දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද ක්‍රියාත්මක වන ආකාරය පැහැදිළිව දැකිය හැකිය. සෑම සුභාරංචි කතුවරයෙක් ම ශුද්ධාත්මයාණන් හා ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කරුණු අනාවරණය කර ඇත. විශේෂයෙන් ලූක් තුමා, ශුද්ධාත්ම බලයෙන් පූර්ණ වූ එළිසබෙත් තුමිය හා මරිය තුමිය පිළිබඳව ද, ඔම ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය හා බලය හේතුවෙන් මිනිසත්බව ගන්නා දේව පුත්‍ර ජේසුස් වහන්සේ ගැන ද අපූර්ව ලෙස විස්තර කර ඇත.ස්නාවක ජොහාන් තුමාගේ උපත පිළිබඳව ගාබ්‍රියෙල් දේවදූතයා සෙකරියස් පූජකතුමාට දැනුම් දීමේ සිද්ධියේ දී ප්‍රථම වරට "ශුද්ධාත්මයාණන්" නමැති වචනය භාවිත කරමින්, "මව්කුස සිට ම ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නේ ය"[ලූක් 1 : 15c] යනුවෙන් දක්වා ඇත. එම දේවදූතයා ම මරිය තුමිය ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව දැනුම් දීමේ දී, "ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක" [ලූක් 1 : 35] යනුවෙන් ලූක් තුමා සඳහන් කර ඇත. එසේම, මරිය තුමිය එළිසබෙත් තුමියව බැහැදැකීමට ජුදා දේශයේ ආයින්කාරීම් ග්‍රාමයට ගොස් සෙකරියස් පූජකතුමාගේ නිවසට ඇතුළු වී එළිසබෙත් තුමියට ආචාර කළ මො‍හොතේ ඇය ශුද්ධාත්ම බලයෙන් පූර්ණ වූ බව ද [ලූක් 1 : 41], ස්නාවක ජොහාන් තුමාගේ උපතින් පසුව සෙකරියස් පූජකතුමා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බව ද [ලූක් 1 : 67 - 79], උපතින් හතළිස් දිනකට පසුව ජෙරුසලෙම් දේව මාලිගාවට කැප කිරීමට රැගෙන ආ ජේසුස් වහන්සේව පිළිගැනීමට පැමිණි සිමියොන් නමැති දිවැසිවරයා තම මරණයට පෙර දේව පුත්‍රයාණන් ව තම දෙනෙතින් දැකගැනීමේ දේව පොරොන්දුවක්  ශුද්ධාත්මයාණන්ගෙන් ලැබූ, ශුද්ධාත්ම බලයෙන් පූර්ණ වී සිටි අයෙකු බව ද ලූක් තුමා පෙන්වා දී ඇත [ලූක් 2 : 25 - 27]. 
ශුද්ධ වූ ත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වය හා අනාවරණය පැහැදිළිව අපට දක්නට ලැබෙන්නේ ජොර්දාන් නදියේ දී ජේසුස් වහන්සේ ස්නාවක ජොහාන් තුමා අතින් බව්තීස්ම ස්නාපනය ලුබූ අවස්ථාව ය. එහි දී දෙවියන් වහන්සේ අමතමින්,"ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය. ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි" [ලූක් 3 : 22] යනුවෙන් ද, ශුද්ධාත්මයාණන් පරෙවි විලාශයෙන් ද, ජේසුස් වහන්සේ මනුෂ්‍යාකාරයෙන් ද අනාවරණය වූ සේක. එසේම, ජේසුස් වහන්සේගේ සත්‍ය රූපවිලාශවීමේ (රූප විපර්යාස) සිද්ධියේ දී දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ හා පේදුරු ජාකොබ් හා ජොහාන් යන අපෝස්තුළුවරුන් තිදෙනාට කටහඬක් මගින් අනාවරණය වූ නමුත් ශුද්ධාත්මයාණන් එතැන වැඩ සිටි බව සඳහන් නොවේ [ලූක් 9 : 35]. ජේසුස් වහන්සේ මිනිසත්බව ගැනීමට පෙර දෙවියන් වහන්සේ සමග දෙවියන් වහන්සේ ව ම වැඩ සිටි බව ජොහාන් තුමා තම සුභාරංචි පොතේ 1 : 1 - 2 හි සඳහන් කර ඇත. එසේම එතුමා ම දක්වා ඇති පරිදි, පිලිප් නමැති අපෝස්තුළුවරයා "ස්වාමිනී, පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව" යි ආයාචනය කළ මොහොතේ ජේසුස් වහන්සේ ප්‍රකාශ කළේ, "....මා දුටු තැනැත්තේ, පියාණන් වහන්සේ දුටුවේ ය..." [ජොහාන් 14 : 8 - 10] යනුවෙනි. 
මෙම සුභාරංචි පාඨ අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ, පියාණන් වහන්සේ ද පුත්‍රයාණන් වහන්සේ ද ශුද්ධාත්මයාණන් වහන්සේ ද එකම දෙවියන් වහන්සේ ලෙසින් වැඩවසන බව ය. එකී වහන්සේලා තිදෙනා එකම දෙවියන් වහන්සේ‍ ලෙසින් ක්‍රියාකරන බව ය. මෙය සරල නිදසුන් ‍කිහිපයකින් සුළු වශයෙන් පැහැදිළි කිරීමට හැකිය.
  • අප භාවිතයට ගන්නා ජලය පානීය අවස්ථාවේ දී ද්‍රවයක් (වතුර) ලෙසින් පවතී. එය අධි ශීතකරණයක බහාලූ විට ඝනයක් (අයිස්) බවට පත්‍ වේ. භාජනයක දමා රත් කළ විට වායුවක් (වාෂ්පය-හුමාළය) බවට පත් වේ. මෙලෙස ශුද්ධ වූ ත්‍රිත්වයික දෙවියන් වහන්සේ අවස්ථානුකූලව ත්‍රිවිධාකාරයෙන් ක්‍රියාකාරී වන අතර, එවිට තුන් ආකාර නාමයන්ගෙන් ආමන්ත්‍රණය කරනු ලැබේ.
  • දැල්වූ ඉටි පහණක ආලෝක කදම්භයේ ත්‍රිවිධ කොටස් දැකිය හැකිය. දැල්වෙන තිරය වටා අඳුරු කළාපයක් ද, ඒ වටා අර්ධ දීප්ත කළාපයක් ද, ඊට පිටස්තරයෙන් දීප්ත කළාපය ද දැකිය හැකිය. ශුද්ධ වූ ත්‍රිත්වය ද එකම අවස්ථාවේ දී වුව ද ත්‍රිවිධාකාරයෙන් වැඩවසමින් ක්‍රියා කරන සේක. 
  • අප ආහාරයට ගන්නා බත ප්‍රථමයෙන් පොත්තක් සහිත "වී" යන නමින් ධාන්‍යයක්ව පවතියි. එය අනුභව කිරීමට අපහසුය. පොත්ත නිසා එහි ඇතුළත අපට නොපෙනේ. එලෙස දෙවියන් වහන්සේ ද ස්වර්ගීය මහිමතාවය තුළ අපට දර්ශනය කළ නොහැක. පොත්ත ඉවත් කළ විට එය "සහල්" නම් වේ. එය ධාන්‍යයේ ස්වභාවය නිරූපණය කරයි. සපා කෑමට හැකිය. පුත්‍රයාණන් වහන්සේ ද මනුෂ්‍යත්වය තුළ තම ස්වභාවය අනාවරණය කළ සේක. එහෙත් අපගේ ආහාරය පිණිස ගැනීමේ දී "සහල්" හොඳින් තම්බා"බත" යන නමින් අනුභවයට ගැනේ. එලෙස ම ත්‍රිත්වයික දෙවියන් වහන්සේව මිනිස් අත්දැකීමට හසුවන්නේ ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරීත්වය හා මෙහෙයවීම කරණකොටගෙන ය. අභිරහස්‍යම ය වූ මහිමාන්විත දෙවියන් වහන්සේව මිනිස් දිවිය තුළට ගෙන එන්නේ ශුද්ධාත්මයාණෝ ය.  
අභිරහස්‍යමය වූ මහිමාන්විත දෙවියන් වහන්සේට සමාන කළ හැකි කිසිඳු ද්‍රව්‍යයක් හෝ සුපැහැදිළි නිදසුනක් මෙලොව නොමැති බව සිහි තබා ගත යුත්තකි. ත්‍රිත්වයික දෙවියන් වහන්සේව තම ජීවිත තුළ ගැඹුරින් අත්දුටු මුල් යුග වල කිතුනුවන් තම ජීවිත පූජා කරමින් ඔවුන් වහන්සේට සාක්ෂි දරමින් ප්‍රාණ පරිත්‍යාගී වූහ. ශුද්ධ ත්‍රිත්වය අපගේ කතෝලික ඇදහිල්ලේ පදනම ය. මූලාරම්භය ය. අපගේ ජනවන්දනාව හා එහි යැදුම් සියල්ල සකස් වී ඇත්තේ ද ශුද්ධ වූ ත්‍රිත්වයට වන්දනා නමස්කාරය පිදීමට ය. පුහු තර්කයෙන් විවාදයෙන් හා මිනිස් මතවාද වලින් එහි සත්‍ය අසත්‍යතාව සොයනවාට වඩා කිතුනුවන් වශයෙන් ත්‍රිත්වයික දෙවියන් වහන්සේව තම ජීවිතය අතුදකිමින් ඔවුන්ගේ වහන්සේගේ ප්‍රේමය‍ට හසුවීම අප කළ යුත්තකි.


 

0 comments:

Post a Comment