Saturday, June 2, 2012

ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍යය

සාමාන්‍ය සමයේ නවවන ඉරුදින
2012 ජුනි 03 ඉරුදින

පූජක වස්ත්‍ර වර්ණය              : සුදු

පළමුවන දේව ප්‍රකාශනය     : ද්වීතීය නීති සංග්‍රහය 4 : 32 - 34, 39 - 40
                                                       ඉහළ අහසේ ද පහළ පොළොවෙහි ද ස්වාමින් වහන්සේ  
                                                       දෙවියන් වහන්සේ වන සේක.

මෙනෙහි කිරීමේ ගීය            : ගීතාවලිය 33 : 4 - 6, 9, 18 - 20, 22
                                            දෙවියන් වහන්සේට නව ගීයක් ගයන්න... සමිඳුන්ගේ වචනය 
                                                       අවංකය. එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලීය. දැහැමි 
                                                       බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය. මහ පොළොව එතුමන්ගේ 
                                                       කරුණාවෙන් පිරී ඇත... 

දෙවනදේව ප්‍රකාශනය          : රෝම 8 : 14 - 17
                                                       "පියාණෙනි" කියා දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කිරීමට 
                                                       හැකියාව ඇති දේව දරුකමේ උරුමය කිතුනු අපට ලබා දී  
                                                       තිබේ.
  
සුභාරංචි ප්‍රකාශනය              : මතෙව් 28 : 16 - 20
                                            සකල ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේ ද 
                                                       පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් 
                                                       බව්තීස්ම ස්නාපනය කරන්න. අණ කර ඇති සියල්ල ඔවුන්ට 
                                                       රක්ෂා කිරීමට උගන්වන්න.  

විශ්වාසිකයන්ගේ යැදුම්       : [ගායනය සඳහා නොවේ.]
   ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
  • ඉහළ අහසේ ද පහළ පොළොවේ ද ස්වාමියාණන් වන ආදර දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ අණ පණත් අනුව ජීවත් වෙමින් ඔබ වහන්සේ තුළ සම්පූර්ණ විශ්වාසය තබා ඔබ වහන්සේ සියල්ලේ ස්වාමියාණන් හා බලවතාණන් බව පිළිගෙන දිනපතා ඔබ වහන්සේගේ අමිල ප්‍රේමය අත්දකිමින් ඇදහිල්ලේ දැහැමි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දේව වරප්‍රසාද ඉල්ලා අපි ඔබට යාච්ඤා කරමු.
    ඔබගේ පිළිතුර... 
  • දැහැමි බවේ උල්පත වන ආදර දෙවි පියාණෙනි, අපගේ දෛනික ජීවිතය තුළ විවිධ විශ්මයජනක දේ සිදු කරන ඔබ වහන්සේ අපට ලබා දී ඇති විවිධ දීමනා නිතර සිහිකර ඔබ තුති පුදමින් ඔබගේ මහිමය අන් අය ඉදිරියෙහි වර්ණනා කරමින් ඔබ වහන්සේට සාක්ෂි දරමින් ප්‍රශංසා කිරීමට අපට අවශ්‍ය දේව මග පෙන්වීම හා හැකියාව ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබට යාච්ඤා කරමු.
   ඔබගේ පිළිතුර...
  • දේව දරුකමේ උරුමය අපට ලබා දුන් ආදර දෙවි පියාණෙනි, පාපී ජීවිත ගත කරන අප වෙත අචල ප්‍රේමය පා ඔබ වහන්සේගේ පුත්‍රයාණන් කරණකොටගෙන "අබ්බා පියාණෙනි" කියා ඔබට ආමන්ත්‍රණය කිරීමට ලබා දුන් හැකියාව අනුව ඔබ වහන්සේගේ පීතෘක ප්‍රේමය සැමවිට ම අප ජීවිත තුළ අත්දැකීමට ද, නොයෙකුත් ජීවිත ගැටලු හා අභියෝග නිසා සමාජයේ කොන් වී අසරණ වී සිටින අය වෙත එම ප්‍රේමය රැගෙන යාමට ද, ඔබ වහන්සේගේ ප්‍රේමය තවමත් නොහඳුනන නිසා ජීවිත අඳුරේ පසුවන අයව ඔබගේ ප්‍රේමයේ ආලෝකය වෙත රැගෙන ඒමට ද අවශ්‍ය බලය හා ශක්තිය ඉල්ලා අපි ඔබට යාච්ඤා කරමු.
   ඔබගේ පිළිතුර...     
  • ලෝකාග්‍ර දෙවි පියාණෙනි, "සකල ජාතීන් ගෝලයන් කිරීමේ" වගකීම දරන කිතුනු අප සැමට ප්‍රසාද ස්නාපනයෙන් ලැබී ඇති දිවැසිවර කැඳවීම නිසි ලෙස අවබෝධ කරගෙන, සුභාරංචිය අන් අය අතරට ගෙන යමින් එය සමාජය තුළ ජීවත් කරවීමට අපට හැකියාව ද, ඔබ වහන්සේ ස්ථාපිත කළ කතෝලික සභාවේ ශ්‍රේෂ්ඨයන්ට හා පූජක පැවිදි සියල්ලන්ට දේව වචනය නිවැරදිව පහදා දෙමින්, සියල්ලේගේ විශ්වාසය රැක දෙමින් දේව රාජ්‍යය සම්පූර්ණත්වය කරා ගෙන යාමට අවශ්‍ය දේව වරප්‍රසාදයන් ද ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබට යාච්ඤා කරමු. 
   ඔබගේ පිළිතුර...
  • ත්‍රිත්වයික දෙවි පියාණෙනි, ඔබ වහන්සේ ත්‍රිත්වික ප්‍රේමයෙන් බැඳී සදහටම වැඩ වසමින් අපව ද ප්‍රේමයේ දිවියක් ගත කිරීමට කැඳවන බව සිහි කර අපගේ පවුල් ජීවිත සාමයෙන් හා ප්‍රේමයෙන් ගත කිරීමට ද, අසමගිය ඇති තැනට සමාදානයත්  වෛරයෙන් පිරි තැනට ප්‍රේමයේ ශාන්තියත් රැගෙන යාමට ද අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබට යාච්ඤා කරමු. 
   ඔබගේ පිළිතුර...
     

 



0 comments:

Post a Comment