Saturday, June 30, 2012

ත්‍යාගශීලීබව සමාජ සාධාරණත්වයට මග පෙන්වයි

 සාමාන්‍ය සමයේ දසතුන්වන ඉරුදින 2012 ජුනි 1
අද පළමුවන දේව ප්‍රකාශනය සලමොන්ගේ ප්‍රඥාව පොතේ 1 : 13 - 15, 2 : 23 - 24 කොටසින් ඉදිරිපත් කර ඇත. ඉශ්රායෙලයේ දෙවන (මිනිස්) රජු වූ දාවිත් රජතුමාගේ පුත් සලමොන් විසින් ලියන ලදැ යි සැලකෙන ප්‍රඥා සාහිත්‍යයට අයත් මෙම ග්‍රන්ථයේ මරණය දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් නොවන බවත්, ජීවමාන අයව වනසාලීමෙන් ඔවුන් වහන්සේට කිසිඳු ප්‍රීතියක් අත් නොවන බවත්, ඔවුන් වහන්සේ සියල්ල මැව්වේ ජීවත් වීමට බවත්, එබැවින් මිහිපිට සියලු මැවිලි යහපත් බවත් දක්වයි. මරණයට මිහිතලය කෙරෙහි බලයක් නැත. එහෙත් දෙවියන් වහන්සේ මිනිසා නොමැරෙනසුලු කෙනෙකු කළ සේක. සිය ස්වරූපයට ඔහු මවා වදාළ සේක. මරණය ලොවට පැමිණියේ යක්ෂයාගේ ඊර්ෂ්‍යාවෙන් බව පළමු කියවීම පෙන්වා දෙයි. 
තම අසීමිත ප්‍රේමය මිනිසා සමග බෙදා ගැනීමට ප්‍රිය කළ දෙවියන් වහන්සේ, මනුෂ්‍යයාව තම ස්වරූපයට මැවූ සේක. ඔවුන් වහන්සේ මිනිසා වෙනුවෙන් සියල්ල මවා සූදානම් කළේ, ගැබිණි මවක් හා ඇගේ පවුලේ සියලු දෙනා දරු ප්‍රසූතියට පෙර එම දරුවා වෙනුවෙන් සියල්ල සූදානම් කරන්නාක් මෙනි. තමන් වහන්සේ නිර්මාණය කළ උතුම් ම මැවිල්ල වන මිනිසා ව ඉතා යහපත් පරිසරයක (ඒදන් උයනේ) තැබූ සේක. උන් වහන්සේ කළ සියලු මැවිලි වල ආධිපත්‍යය ද ඔහුට පවරා දුන් සේක. සාතන්ගේ පෙළඹවීම් වලට හසුවිය හැකි බැවින් ඔවුන්ට හෘදය සාක්ෂියක් දී ඉන් ගැළවීමට මග පෙන්වූ සේක. දෙවිඳුන් දේව සමානකම දරන මිනිසාගේ නිදහසට ගරු කළ සේක. එහෙත් ගුණමකු මිනිසා තමන්ගේ මැවුම්කරු හා එකම ජීවනය වන දෙවියන් වහන්සේට නොව, සාතන්ගේ හඬට ඇහුම්කන් දී තම මැවුම්කරුවාණන්ගේ තැන ගැනීමට අසාර්ථක උත්සහයක යෙදී තමන්ට හිමිව තිබූ තැන පවා අහිමි කර ගත්තේ ය. සාතන් ඔවුන්ව අහංකාරය, අකීකරුකම හා තෘෂ්ණාව සඳහා පෙළඹවූයේ ය. එහි ප්‍රතිඵළය වූයේ මිනිසාට මරණය අත් වීම ය. එහෙත් මිනිසාට අනුකම්පා කළ දෙවියන් වහන්සේ ගැළවුම්කරුවෙකු මෙලොවට එවා අපට සාතන්ගේ ග්‍රහණයෙන් ගළවා ගැනීමට දේව පොරොන්දුවක් දුන් සේක. (උත්පත්ති 3 : 15) එමගින් දෙවියන් වහන්සේව අදහා ගෙන දැහැමි දිවියක් ගත කරන අයව නොමැරෙනසුලු තත්ත්වයකට පත් කිරීමට ක්‍රියා කළ සේක.

දෙවන දේව ප්‍රකාශනය 2 කොරින්ති 8 : 7, 9, 13 - 15 යන කොටස් වලින් උපුටා ගෙන ඇත. ඇදහිල්ලෙන් ද, කතාවෙන් ද, දැනගැන්මෙන් ද, උද්යෝගීමත්භාවයෙන් ද හා ප්‍රේමයෙන් ද පොහොසත් ව සිටින්නාක් මෙන් සහනාධාර සේවයෙහි ද පොහොසත්ව සිටීමට අවවාද කරයි. ත්‍යාගශීලී කරුණාවන්ත අපගේ ස්වාමින් වන  ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ධනවත්ව සිටි නමුත්, තම දිළිඳුකම කරණකොටගෙන අපව ධනවත් කරන පිණිස අප වෙනුවෙන් දිළිඳු වූ සේක. මෙයින් අදහස් කරන්නේ, තමන් අමාරුවේ වැටී අනුන්ට සහනය දීමක් නොව, දිළිඳුන් හා ධනවතුන් අතර සාමකාමී සාධාරණකමක් ඇති කිරීම ය. අපගේ හැකියාවෙන් හා අප සතු වැඩිපුර දෙයින් අනුන්ගේ අගහිඟකම් පිරිමසාලීම ද, අන් අය ද ඔවුන්ගේ හැකියාවෙන් අපගේ අගහිඟකම් පිරිමසාලීම ද සිදුවීම ය. 
නූතන ලෝකයේ සම්පත් වල හිඟකමක් පවතී. පවතින සම්පත් ද ක්‍රමයෙන් විනාශ වෙමින් හෝ අවසන් වෙමින් තිබේ. එම සම්පත් භුක්ති විඳීමට වැඩි පිරිසක් බලා සිටින බවත්, හිඟකමට හේතුව එම සම්පත් වලට වඩා ජනගහණය සීඝ්‍රයෙන් වර්ධනය වීම බවත්, එබැවින් ජනගහණය පාලනය කළ යුතු බවත් ධනවත් රටවල ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙති. මෙම අර්බුද සියල්ලට ම හේතුව මිනිසා දෙවියන් වහන්සේගේ කැමැත්තට අවනත නොවීම හා දේව සැලැස්මට පිටු පෑම ය. දෙවියන් වහන්සේ මැවූ සම්පත් සියලු දෙනාට ම සාධාරණ ලෙස භුක්ති විඳීමට අවස්ථාව සලසා දීම දේව අභිමතය වේ. දිළිඳුකමට හේතුව හිමිකම හා නූගත්කම ය. එසේම, දුබලයන් ශත වර්ෂ ගණනාවක් පුරා සූරාකෑමට ලක් කිරීම ය. මෙවැනි ජාතීන්ට හිමි වූයේ දිළිඳුකම, ණයබර හා නූගත්කම ය. සම්පත් නාස්තිය හා අතිරික්ත සම්පත් විනාශ කිරීම ද ලොවේ ඉහළ මට්ටමක තිබේ. මේ අනුව නැති බැරිකමට හේතුව පැහැදිළි ය. යමෙකු තමන්ට හිමි කොටස ප්‍රමාණවත් නොවේ යැයි ප්‍රකාශ කරන්නේ නම්, ඊට හේතුව දුබල ඔහුට හිමි විය යුතු කොටස බලවතුන් හෝ ධනවතුන් පැහැර ගැනීම හෝ බලාත්කාරයෙන් අයිති කර ගැනීම ය. සීනයි පාළුකරයේ වසර 40 ක් ජීවත් වූ ඉශ්රායෙල්වරුන්ව මෙවැනි තත්ත්වයකින් ආරක්ෂා කරගැනීමට දෙවියන් වහන්සේ දුන් නීතිය වූයේ, අහසින් වැටෙන මන්නා එකතු කර ගත යුත්තේ නිවසේ සිටින සාමාජිකයන් ගණන හා අනුභව කරන ආහාර වේල් සංඛ්‍යාව අනුව එක් දිනකට සෑහෙන ප්‍රමාණය පමණි. එමගින් රැස් කිරීම නවතා සැම දෙනාට ම සාධාරණය ඉටු විය යුතු බව දෙවියන් වහන්සේ අවධාරණය කළ සේක. පාවුළුතුමා පෙන්වා දෙන්නේ දේව ප්‍රේමයේ සළකුණක් වශයෙන් අප අසරණයන්ට පිහිට විය යුතු බව ය. එහෙත් තමා සන්තක සියල්ල බෙදා දීම මගින් තමන් අමාරුවේ වැටීමක් නොවිය යුතු බව ද පෙන්වා ඇත. 

අද සුභාරංචි ප්‍රකාශනය වන්නේ, මාර්ක් 5 : 21 - 24, 35 - 43 ය. මෙහි විස්තර වන්නේ ජායිරස් නමැති ධර්මශාලා (සිනගෝග) ප්‍රධානියෙකුගේ ‍මියගිය දොළොස් වියැති දියණියකව මළවුන්ගෙන් උත්ථාන කිරීම පිළිබඳ ප්‍රාතිහාර්ය ය. අසරණයන් හා පීඩිතයන් කෙරෙහි නිරතුරු සානුකම්පිත වූ ජේසුස් වහන්සේ ජායිරස්ගේ ඉල්ලීම පරිදි ඔහුගේ එම රෝගී දැරියව සුවපත් කිරීමට ඔහුගේ නිවසට ගියේ ය. ඔවුන් වහන්සේ සමග ගමන් ගත් මහා ජනකාය අතර සිටි මහ ලේ නමැති රෝගයකින් පෙළුණ කාන්තාවක් මහත් ඇදහිල්ලෙන් ජේසුස් වහන්සේගේ සළුව ස්පර්ශ කර සුවය ලබා ගැනීමේ සිද්ධියක් ද මේ අතර ඇත. (මාර්ක් 5 : 25 - 34) දැරිය මරණයට පත්වූ බව අතරමග දී දැගැනීමට ලැබුණත් ජේසුස් වහන්සේ ජායිරස් තුළ ඇදහිල්ල ඇති කරමින් දේව බලාපොරාත්තුව ගොඩනගමින් ඔහුව ධෛර්යමත් කළ සේක. "බිය නොවන්න, ඇදහිල්ල ඇතිව සිටින්නැ"යි ජායිරස්ට  කීවේ එනිසා ය. ලෞකික ජීවිත මරණයේ වේදනාත්මක අත්දැකීම නිසා ඇගේ මව හා ඥාතීන් විලාප හා ළතෝනි කියමින් හැඬීම ස්වභාවික ය. එවිට, "ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන්ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය," යි ජේසුස් වහන්සේ කීම අනුවණ ප්‍රකාශනයක් සේ පෙනී ගිය ද, එයින් ඔවුන් වහන්සේ බලාපොරොත්තු වූයේ ද රැස් වී සිටි පිරිස තුළ ඇදහිල්ල හා දේව බලාපොරොත්තුව ගොඩනැගීම ය. ජේසුස් වහන්සේ මැරී සිටි දැරියගේ අතින් අල්ලා "තලිතාකුමි" (එනම්, "දැරිය, මම ඔබට කියමි, නැගිටින්න") කියා නැවත ප්‍රාණය දී සුවපත් කරන්නේ ද නිදා සිටින කෙනෙකුව අවදි කරන්නාක් මෙනි. පාපයේ ප්‍රතිඵලය මරණය බව පාවුළුතුමා පෙන්වා දී ඇත. පාපයෙහි ඇළි ගැළී ගැඹුරු නිද්‍රාවට පත් ව සිටින අයට ඉන් මිදී නව ජීවිතයකට නැවත අවදිවීමට ජේසුස් වහන්සේගේ ප්‍රේමයේ ස්පර්ශය අවශ්‍ය ය. එපමණකින් නොනැවතුණු ජේසුස් වහන්සේ එම දැරියට කෑමට යමක් දීමට ද නියම කළ සේක. මෙයින් පෙනී යන්නේ උන් වහන්සේ අපගේ ආධ්‍යාත්මික සුවය පමණක් නොව ශාරීරික සුවසහනය ද සළසන බව ය. පාපයේ නිද්‍රාවෙන් මිදී ක්‍රිස්තු අනුහසින් නව දිවියකට උත්ථාන වන පුද්ගලයාගේ ආධ්‍යාත්මික පෝෂණයට ආධ්‍යාත්මික ආහාර වන දේව වචනය හා දිව්‍ය සත්ප්‍රසාදය අවශ්‍ය ය. 

මිනිසාගේ ආයු කාලය කෙටි බැවින් ඔහු මෙලොව ජීවත් වන්නේ ස්වල්ප කලකි. එම සුළු කාලය තුළ ඔහු තමන් ගැන පමණක් නොසිතා අන් අයව ද ජීවත් කරවීමටත්, සමාජ සාධාරණත්වය ඇති කිරීමටත් ක්‍රියා කළ යුතු ය. ශාරීරික අභිවෘද්ධිය හා සුභසෙත සළසන අතර ම, අසල්වැසියාගේ ආධ්‍යාත්මික ප්‍රගතිය ගැන ද සැලකිලිමත් විය යුතු ය. ජේසුස් වහන්සේ වෙහෙස නොබලා ජායිරස්ගේ නිවසට ගියාක් මෙන් අප ද අන් අයගේ විපතේ දී හැකි පමණින් සහයවීම හා උදව් කිරීම කළ යුතු ය. ජේසුස් වහන්සේ ජායිරස්ගේ දියණියව උත්ථාන කිරීම රහසක්ව තබා ගැනීමට අණ කළ සේක. එලෙසම අන් අයට උදව් උපකාර කිරීම හා පිළිසරණය වීම අපට කීර්තිනාමය හා අන් අයගේ ප්‍රශංසාව ලබාගැනීමේ අරමුණින් තොරව කරන්නක් විය යුතු ය. දකුණතින් දෙන දෙය සැම විට ම වමතට නොදැනෙන්නක් විය යුතු ය.   

0 comments:

Post a Comment