Friday, June 15, 2012

සාමාන්‍ය සමයේ එකළොස්වන ඉරුදින


පූජා ඇඳුම් වර්ණය            : - කොළ

යාම යැදුම                       :- 3 වන සතිය
 
පළමුවන දේව ප්‍රකාශනය :- එසකියෙල් 17 : 22 - 24
                                                               මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ උස් වූ කිහිරි ගස් 
                                                               මුදුනෙන් රිකිල්ලක් ගෙන එය සිටුවා, එහි මුදුන් රිකිලි 
                                                               වලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති
                                                               කන්දක් මුදුනේ සිටුවන බවත්, එය දළු ලා ලියලා
                                                               එහි පළදාව හට ගන්නා අතර, පියාපත් ඇති සියලු
                                                               ආකාර පක්ෂීහු ඒ යට ලගින බවත්, ස්වාමින් වහන්සේ
                                                               උස ගස පහත් කර, මිටි ගස උසකොට, සරු ගස වියළි
                                                               කර, වියළි ගස සරු කරන බවත්, ස්වාමින් වහන්සේ
                                                               වදාරන දෙය එලෙසම ඉටු කරන බවත් ප්‍රකාශ වේ.
 
මෙනෙහි කිරීමේ ගීය         :- ගීතාවලිය 92 : 1 - 2, 12 - 15
                                                               සමිඳුන්ට තුති පිදීම හොබනා දෙයකි. මහෝත්තම-
                                                               යාණන්ගේ නාමය වර්ණනා කිරීම යහපති. උදෑසන 
                                                               දෙවිඳුන්ගේ ප්‍රේමය ගැන පැවසීම හොබනේ ය. රෑ 
                                                               යාමයේ දෙවිඳුන්ගේ විශ්වාසවන්තකම ගැන පැවසීම 
                                                               යහපති... 
                                                               දැහැමියන් තාල වෘක්ෂ මෙන් සරුසාර වෙති. වයස ගිය 
                                                               පසු පවා ඒවා පළදාව දෙයි. එසේ වන්නේ සමිඳුන් 
                                                               සාධාරණ බව ද අපගේ ආරක්ෂකයාණන් තුළ වරදක් 
                                                               නොමැති බව ද දක්වනු පිණිස ය.   
        
දෙවන දේව ප්‍රකාශනය     :- 2 කොරින්ති 5 : 6 - 10
                                                              අප සැම විට ම ධෛර්යවත්ව සිටිය යුතු ය. ශරීරය 
                                                              නම් වූ නිවසෙහි අප සිටින තුරු, අප ස්වාමින් වහන්සේ
                                                              ගෙන් ඈත් වී සිටින්නෙමු. අප ජීවත් වන්නේ දැකීමෙන් 
                                                              නොව ඇදහීමෙන් ය. අපගේ ශරීරය නම් වූ නිවසින් බැහැර 
                                                              වී ස්වාමින් වහන්සේ තුළ ජීවත් වෙමු. අප කුමන නිවසක 
                                                              ජීවත් වූවත් ස්වාමින් වහන්සේව ප්‍රසන්න කිරීමට ආශා වෙමු. 
                                                              මන්ද, අප සියලු දෙනා ම තම ශාරීරික ජීවිතයේ කළ හොඳ 
                                                              නරක අනුව විපාක ලැබීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ  
                                                              විනිශ්චයාසනය ඉදිරියෙහි සිටීමට නියම වී සිටින්නෙමු.
 
සුභාරංචි ප්‍රකාශනය           :- මාර්ක් 4 : 26 - 34
                                                              වැඩෙන බීජය පිළිබඳ උපමාව මෙහි දැක්වේ. වපුරන්නා 
                                                              බීජ වැපිරූ කල, ඔහුට නොදැනීම බීජ පැළවී, වැඩී, පළමුව 
                                                              දළුව ද දෙවනුව කරළ ද ඉන්පසුව කරල පුරා ධාන්‍ය ද හට 
                                                              ගන්වයි. ගොයම පැසුණු කල ගොවියා වහාම අස්වැන්න 
                                                              කැපීමට දෑකැත්ත යොදයි.

විශ්වාසිකයන්ගේ යැදුම්     :- 
ඔබගේ පිළිතුර - "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව."
  • මහෝත්තම දෙවි ස්වාමිනී, උස් ගස මිටි කොට මිටි ගස උස් කරන ඔබ වහන්සේ, අප තුළ තිබෙන සියලු ආකාර දුසිරිත් හා අදමිටුකම් කප්පාදු කොට ධර්මිෂ්ඨතාවයේ ගුණ දහම් තුළින් සමාජයට සෙවන දෙන මහා වෘක්ෂයන් වන්නට අවශ්‍ය දේව වරප්‍රසාද ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර - "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව"
  • අපගේ මැවුම්කරුවාණන් වන දෙවි පියාණෙනි, අපගේ ශාරීරික තෘෂ්ණාවන් හා අවශ්‍යතාවන්ට මුල් තැන් දී කටයුතු කරන දුර්වල මනුෂ්‍යයන් වන අපට කරුණා කොට, ශරීරය නමැති නිවාසයෙන් බැහැර වී ස්වාමින් වන ඔබ වහන්සේ තුළ ජීවත් වන්නට අවශ්‍ය ශුද්ධාත්ම මග පෙන්වීම ලබා දෙන මෙන් අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර - "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව"
  • අපගේ ගැළවුම්කාරුවාණන් වන‍ පෙම්බර දෙවි පියාණෙනි, මෙලොව ජීවිත‍ය තාවකාලික බවත්, ඔබ වහන්සේ සමග ගත කිරීමට සදාතන ජීවිතයක් ඇති බවත්, මෙලොවේ දී අප කරන හොඳ නරක අනුව ඵල විපාක ලැබීමට කෙදිනක හෝ ඔබ වහන්සේ හමුවේ පෙනී සිටීමට සිදුවන බවත් අපට නිරතුරුව ම මතක් කර දී, අපගේ සියලු අයහපත්කම් වලින් නිදොස්ව ශුද්ධවන්ත ජීවිත ගත කිරීමට අවශ්‍ය දේව ශක්තිය හා බලය ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර - "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව"
  •  ප්‍රේමයේ දෙවි පියාණෙනි, අප කොපමණ පව්කාර තත්ත්වයක සිටියත් ඔබ වහන්සේ අපට දක්වන අසීමිත ප්‍රේමය හා විශ්වාසවන්තභාවය ගැන නිතර සිහි කර, ඔබ වහන්සේට අප මුළු දිවිය පුරා ස්තුති ප්‍රශංසා කිරීමට අවශ්‍ය ප්‍රසාද උපකාරය හා බැහැපත් අවංක සිතක් දී වදාරන මෙන් ඉල්ලා අප ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර - "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව"
  • අපගේ නිරතුරු පිහිටාධාරය වූ දෙවි පියාණෙනි, දිනෙන් දින ම කිතුනු සමාජයට එල්ල වන විවිධ නපුරු බලවේග හමුවේ නොසැලී ඔබ වහන්සේට සාක්ෂි දරමින් ඔබ වහන්සේගේ පුතුණුවන් ප්‍රකාශ කළ සුභාරංචිය හා දේව පණත් තුළ ජීවත් වීමට අවශ්‍ය බලය හා ධෛර්ය ලබා දී, ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාවට නිසි මග පෙන්වමින් දේව රාජ්‍යය ගොඩනැගීමට අප කතෝලික සභා ශ්‍රේෂ්ඨයන්ට අවශ්‍ය ශුද්ධාත්ම මග පෙන්වීම ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර - "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව"

0 comments:

Post a Comment