Saturday, July 7, 2012

දහම් සේවීන්ගේ සේවය අගයමු

සාමාන්‍ය සමයේ දස සතරවන ඉරු දින

පූජා ඇඳුම් වර්ණය            : - කොළ
යාම යැදුම                       : - දෙවන සතිය
පළමුවන දේව ප්‍රකාශනය  : - එසකියෙල් 2 : 2 - 5
                                                   දේවාත්මානුභාවය එසකියෙල් දිවැසිවරයා තුළට ඇතුල් වී, 
                                                   ඔහුව නැගිටුවා දේව හඬට ඇහුම්කන් දීමට යොමු කළේ ය. 
                                                   "මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධව කැරලි ගැසූ, කැරලිකාර ජාතියක් 
                                                   වන ඉශ්රායෙල්වරුන් වෙත මම නුඹ යවමි" යි එසකියෙල් 
                                                   දිවැසිවරයාට ප්‍රකාශ කළ දෙවියන් වහන්සේ, "ඔවුන් කැරලිකාර 
                                                   මනුෂ්‍යයන් වන බැවින් සවන් දුන්නත්, නුදුන්නත් ඔවුන් අතරෙහි 
                                                   දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු ඇතැ"යි කී සේක.

මෙනෙහි කිරීමේ ගීය        : - ගීතාවලිය 123 : 1 - 4
                                                  සගලොව වැඩ වසන සමිඳුනි, ඔබ දෙස මාගේ ඇස් ඔසවමි. 
                                                  දාසියකගේ ඇස් සිය ස්වාමි දුවගේ අත දෙස යොමු වී 
                                                 තිබෙන්නාක් මෙන් දේව කරුණාව අප වෙත පහළ වන තෙක්, 
                                                 අපේ දෑස් සමිඳුන් දෙසට යොමු ව තිබේ.
                                                 සමිඳුනි, අපට කරුණි කළ මැනව; අපට කරුණා කළ මැනව. 
                                                 අපි නින්දාවට පත්ව සිටින්නෙමු. සුව පහසුව ලබමින් සිටින අයගේ 
                                                 උපහාසයට හා අහංකාරීන්ගේ නින්දාවට ලක් වී සිටින්නෙමු.

දෙවන දේව ප්‍රකාශනය    : - 2 කොරින්ති 12 : 7 - 10
                                                හිස උදුම්මා නොගෙන බැහැපත්කමින් ක්‍රියා කිරීමට යොමු 
                                                කරවන පිණිස පාවුළුතුමාට සාතන්ගේ දූතයෙකු වැනි , ශරීරයට 
                                                කා වැදුණු කටුවක් හා සමාන පීඩාවක් දී ඇති බවත්, එය ඉවත් 
                                                කරන මෙන් තුන්වරක් ම ස්වාමින් වහන්සේගෙන් ඉල්ලූ නමුත්, 
                                                ඔවුන් වහන්සේ පිළිතුරු දෙමින්, "මාගේ බලය පරිපූර්ණ වන්නේ 
                                                දුර්වලකමේ දී බැවින් මාගේ වරප්‍රසාදය ඔබට සෑහේ" යැයි පැවසූ බව 
                                                මෙහි දැක් වේ. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා පැමිණෙන
                                                දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද සතුටින්
                                                බාර ගෙන ශක්තිසම්පන්නව සිටින බව පාවුළුතුමා ප්‍රකාශ කර ඇත.


සුභාරංචි ප්‍රකාශනය          : - මාර්ක් 6 : 1 - 6
                                               එක් සබත් දිනක ජේසුස් වහන්සේ නාසරෙතයේ ධර්මශාලාවේ 
                                               උගන්වමින් සිටිය දී, ඔවුන් වහන්සේට සවන් දුන් අය පුදුමයට පත් 
                                               වූහ. එහෙත් ඔවුන් වහන්සේට එහි සිටි අය අපහාස කරමින්, 
                                               "මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන 
                                               මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද? 
                                               මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද? ජාකොබ්,
                                               ජෝසප්, ජූදස් හා සීමොන් යන අයගේ සහෝදරයා නොවේ ද?
                                               මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේ ද?" කියා 
                                               ඔවුන් වහන්සේව ප්‍රතික්ෂේප කළහ. ජේසුස් වහන්සේ ඔවුන්ට 
                                               පිළිතුරු දෙමින්, "දිවැසිවරයෙකුට ගරුබුහුමන් නැත්තේ සිය ගමේ 
                                               දීත්, නෑදෑයන් අතර දීත්, තම ගෙදර දීත් පමණකැ"යි වදාළ සේක. 
                                               තවද, ජේසුස් වහන්සේ එහි සිටි රෝගීන් කිහිප දෙනෙකුව සුව 
                                               කළ නමුත්, වෙනත් කිසි හාස්කමක් කරන්න ඔවුන් වහන්සේට 
                                               නොහැකි විය. ජේසුස් වහන්සේ ඔවුන් තුළ වූ අවිශ්වාසය ගැන 
                                               පුදුම වූ සේක.

විශ්වාසිකයන්ගේ යැදුම් 
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව
  • ආදර දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ වචනය හා ‍දිව්‍යමය පණිවුඩය අන් අය අතරට ගෙන යාමට ප්‍රසාද ස්නාපනය තුළින් අපව කැඳවූ ඔබ වහන්සේ, ජාති ආගම් කුල හා භේද නොසලකා සුභාරංචිය නොබියව අන් අයට ප්‍රකාශ කිරීමටත්, ඔබ වහන්සේගේ දිවමන් වචනයේ සාක්ෂිකරු‍වන් වීමටත් අවශ්‍ය දේව බලය හා ශුද්ධාත්ම මග පෙන්වීම ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව
  • ස්වර්ගීක දෙවි පියාණෙනි, සාරධර්ම වලින් පිරිහෙමින් අයහපත කරා ඇදී යන ලොවක දිවැසිවරයන් වීමට අපව යොමු කරන ඔබ වහන්සේ, අපව ඔබගේ ආත්මානුභාවයෙන් පුරවා, අන් අයගේ ජීවිත හා ආකල්ප වෙනස් කරමින්, දැහැමි සමාජයක් ගොඩනැගීමට අපට අවශ්‍ය දේව මග පෙන්වීම හා හැකියාව ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව
  • කරුණාබරිත දෙවි පියාණෙනි, කිතුනුකම නිසා හෝ ඔබ වහන්සේ අපට ලබා දුන් විවිධ තලෙන්තු නිසා හෝ අප කරන දහම් සේවය නිසා හෝ හිස උදුම්මා නොගෙන, බැහැපත්, නිහතමානී, අවංක දහම් සේවයක නිරතවීමට අවශ්‍ය දේව ශක්තිය හා දැහැමි සිතක් ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව
  • දුබලයන් සවිමත් කරන දෙවි පියාණෙනි, අපගේම මිනිස් දුබලතා නිසා අසරණ වී, කොන් වී සිටින දුබල පීඩිත අප දෙස කරුණාවෙන් බලා අපගේ දුෂ්කරතා වල දී අපට පිහිට වී දුබලතා වල දී අපව ශක්තිමත් කර, පරාජයේ දී අපව දිරි ගන්වා අපගේ ජීවිත අභියෝග ජයගැනීමට අවශ්‍ය ඔබ වහන්සේගේ දේව පිහිටාශිර්වාදය ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව
  • ආදර දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ පුතුණුවන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය සමාජය තුළ ජීවත් කරවීමේ දී හා ඔබ වහන්සේගේ දහම් පණිවුඩය දෙසන්නට යාමේ දී සමාජයෙන් අප වෙත එල්ල වන නින්දා අපහාස, ප්‍රතික්ෂේපවීම්, කොන් කිරීම්, ලැජ්ජාවට පත් කිරීම් හා නොපිළිගැනීම් වැනි අභියෝග වල දී අප අසරණවීමට ඉඩ නොදී, අපව ශක්තිමත් කර වඩ වඩාත් ධෛර්යමත් කර, ජ්වලිතභාවයෙන් යුතුව ඔබ වහන්සේට සේවය කිරීමට අවශ්‍ය වරප්‍රසාද ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව 

0 comments:

Post a Comment