Friday, June 8, 2012

දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය

සාමාන්‍ය සමයේ දසවන ඉරුදින
2012 ජුනි 10

පූජා ඇඳුම් වර්ණය              :  සුදු
පළමුවන දේව ප්‍රකාශනය    :  නික්මයාම 24 : 3 - 8
      සීනයි කන්ද අසළ දී දෙවියන් වහන්සේ මෝසස්තුමා 
      මාර්ගයෙන් ඉශ්රායෙල් ජනතාව සමග කළ "සීනයි 
      ගිවිසුම"  පිළිබඳව විස්තරයක් මෙහි දැක්වේ. 
      මෝසස්තුමා සත්ත්ව රුධීරය රැගෙන බඳුන් වල දමා 
      ඉන් අඩක් පූජාසනය මත ඉස, ගිවිසුම් පොත රැගෙන 
      ජනතාවට ඇසෙන ලෙස කියවා, ඔවුන් "සමිඳාණන් 
      වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු" යි 
      පිළිතුරු දුන් විට, ඔවුන් මත ඉතිරි රුධීරය ඉසිමින්,  
      " මෙය වනාහී සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා 
      ඔබට දෙමින්, ඔබ සමග කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය",  
      යි පැවසීය. 


පිළිතුරු ගීය                          : ගීතාවලිය 116 : 12 - 13, 15 - 18
                                                                "සමිඳුන් මා හට කළ සියලු යහපත්කම්  ගැන එතුමන්ට 
                                                                 මම කුමක් පුදම් ද?...    
                                                                 සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය...
                                                                 මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි, සමිඳුන්ගේ නාමය
                                                                 අමතා අයදින්නෙමි"
                                          
දෙවන දේව ප්‍රකාශනය         : හෙබ්‍රෙව් 9 : 11 - 15
            උත්තම පූජකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, වඩා උතුම් 
            හා වඩා සම්පූර්ණ මිනිස් අතින් නොසෑදූ මේ භෞතික මැවිල්ලට 
            අයිති නොවන මණ්ඩපයේ පූජකයාණෝ ය. ඔවුන් වහන්සේ 
            එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේම ශ්‍රී  
            රුධීරයෙන් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක් 
            වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී 
            රුධීරය කරණකොටගෙන අපගේ ඔබගේ සාක්ෂිය පිරිසිඳු කර 
            ඇත. මේ හේතුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කැඳවීම 
            ලැබූ අයට සදාතන ජීවනයේ පොරොන්දුව ලැබෙනු සඳහා
            නව ගිවිසුමේ  මැදහත්කරුවාණන් වන‍සේක.



සුභාරංචි ප්‍රකාශනය              : මාර්ක් 14 : 12 - 16, 22 - 26
    ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනය වැළඳීම 
    පිළිබඳව විස්තරයක් මෙහි දැක්වේ. ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් 
    දෙදෙනෙකු යවමින් ලොකු උඩුමහල් කාමරයක පාස්කු 
    භෝජනය පිළියෙල කිරීමට සැලැස් වූ සේක. සවස් වූ කල ඔවුන් 
    වහන්සේ සිය ශ්‍රාවකයන් සමග එහි වැඩම කළ සේක. ඔවුන් 
    ආහාර වළඳමින් සිටිය දී ජේසුස් වහන්සේ රොටියක් රැගෙන 
    ආශිර්වාදය පවසා, "ගන්න, මේ මාගේ ශරීරය ය", වදාළ සේක. 
    පසුව ඔවුන් වහන්සේ කුසලානයක් රැගෙන, තුති පුදා, ඔවුන්ට 
    පානය කිරීමට දී, " මෙය බොහෝ බොහෝ දෙනා
    වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ..." 
                                                          යනුවෙන් වදාළ සේක.
                                                        
විශ්වාසිකයන්ගේ යැදුම්    :
ඔබගේ පිළිතුර : "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව" 
  • ආදර දෙවි පියාණෙනි, මන්නා නමැති භෝජනයෙන් ඉශ්රායෙල් ජනයාව පෝෂණය කළ ඔබ වහන්සේ ආධ්‍යාත්මික දේව වරප්‍රසාද‍ වලින් අප පූර්ණ කොට අපගේ ඇතුළාන්තය ශුද්ධවත් කොට ඔබගේ පුත්‍රයාණන්ගේ දිව්‍යමය භෝජනයෙන් නිරතුරුව ම පෝෂණය වෙමින් දේව රාජ්‍යයේ හා සදාතන ජීවනයේ උරුමය ලබා ගැනීමට අපව භාග්‍යවතුන් කරන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර :  "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව"
  • ස්වර්ගීය දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශ්‍රී රුධිරයෙන් අප ශුද්ධවත් කර පාපයේ වහල්කමින් අපව ගළවා ගත් ඔබ වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ අත් කර දුන් ගැළවීම හා විමුක්තිය ගැන නොදැන පාපයෙහි ඇලී ගැළී සිටින අය වෙත කරුණාව පා, ඔවුන්ව ද නව ජීවනය හා ක්‍රිස්තු ආලෝකය කරා රැගෙන ඒමට අප සැමව සාක්ෂිකරුවන් මෙන් යොමු කරවන පිණිස අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු. 
ඔබගේ පිළිතුර : "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව" 
  • කරුණාවේ උල්පත වන දෙවි පියාණෙනි, පන්දහසකට ආහාර දීම තුළින් අසරණ ජනතාව පෝෂණය කළ ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුව යමින්, නූතන ලෝක‍යේ දරිද්‍රතාවය ආහාර පාන හිඟය හා මන්ද පෝෂණය වැනි හේතු නිසාවෙන් අසරණ වී කුසගින්නේ සිටින ජනතාව දෙස සානුකම්පිත හැඟීමෙන් යුතුව බලා, ආධාර උපකාර කරමින් තමන් සතු අතිරික්ත දේ බෙදා ගැනීමට පරිත්‍යාගශීලී වීමට හා දිළිඳු ජීවිත ගොඩ නැගීමට අප සැමට ප්‍රේමයේ ධෛර්යවත් සිතක් ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.

ඔබගේ පිළිතුර : "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව"
  • මහෝත්තම දෙවි පියාණෙනි, ජනවන්දනාවේ මුදුන්මල්කඩ වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට අප තුළ තිබෙන ගරුත්වය වැඩි වර්ධනය කොට, ඒ තුළින් ප්‍රකාශ වන ක්‍රිස්තු වටිනාකම් අප සමාජයේ අන් අතර ජීවත් කරවීමට ද, හැකි සැමවිට ම දිව්‍ය පූජා යාගයට අර්ථවත්ව සහභාගි වෙමින් දිව්‍ය සත්ප්‍රසාදීය භෝජනයෙන් ආධ්‍යාත්මිකව පෝෂණය වීමට අපට අවශ්‍ය දේව වරප්‍රසාද ඉල්ලා අපි ඔබට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව"
  • වන්දනීය දෙවි පියාණෙනි, දිනපතා ලෝකයේ සෑම මොහොතක ම ඔප්පු වන දිව්‍ය පූජා යාගයන් මගින් වන්දනා නමස්කාරය ලබන ඔබ වහන්සේ, අපගේ සභා නායකයන්ට හා පූජාප්‍රසාදීවරුන්ට ආශිර්වාද කොට ශුද්ධවන්ත දැහැමි ජීවිත ගත කිරීමටත්, ඔබ වහන්සේගේ දිව්‍යමය වචනය නිවැරදිව පහදා දීමටත්, දේව රාජ්‍යය ගොඩනංවමින් ඔබ වහන්සේ කරා ජනතාව රැස් කිරීමටත් පිහිටාධාර වී, ඔවුන්ව සියලු ආකාර නපුරේ බලවේග වලින් ආරක්ෂා කොට, දිව්‍ය සත්ප්‍රසාදීය ක්‍රිස්තුස් වහන්සේට අවංකව හා සත්‍යවාදීව ඇදහිල්ලේ බැති සිතින් සේවය කිරීමට අවශ්‍ය දේව වරප්‍රසාද ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : "ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව"                                    

0 comments:

Post a Comment