Saturday, June 9, 2012

අදහමි දිව්‍ය සත්ප්‍රසාදෙනී ෴ ගීතිකා




"ප්‍රසාද නිධානයන්ගේ ප්‍රසාද නිධානය" යන නමින් හඳුන්වන දිව්‍ය සත්ප්‍රසාදය වනාහී, කතෝලික ජනවන්දනාවේ කේන්ද්‍රය වේ. අන්තිම රාත්‍රී පාස්කු භෝජනයේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රොටිය රැගෙන තුති පුදා එය කඩා තම ශරීරය වශයෙන් ද, මිදියුෂ කුසලානය ගෙන තුති පුදා තම රුධීරය වශයෙන් ද සිය ශ්‍රාවකයන්ට බෙදා දෙමින් ඔවුන් වහන්සේව සිහිකිරීමට එය සිදු කරන ලෙස ඉල්ලා සිටි සේක. එතැන් පටන් ශ්‍රාවකයන් ද පෙන්තකොස්ත දින ශුද්ධාත්මයාණන්ගේ පැමිණීමෙන් පසුව ඉරුදින සන්ධ්‍යාවේ "රොටි කැඩීමේ මෙහෙය" නමින් එම පිළිවෙත පැවැත්වූහ. නූතන දිව්‍ය පූජාවට පදනම යෙදුණේ ඒ ආකාරයෙන් ය. දිව්‍ය පූජාවේ දී පූජාප්‍රසාදීතුමා විසින් ආසිරි ගන්වනු ලබන පූපය "දිව්‍ය සත්ප්‍රසාදය" යන නමින් හඳුන්වයි. එය කතෝලික අපට ආධ්‍යාත්මික පෝෂණය ලබා දෙන, මරණින් උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ සමග ඍජුවම සම්බන්ධ වන ප්‍රසාද නිධානයකි.

ජේසුස් වහන්සේ ද ස්වකීය මරණයට පෙර පන්දහසකට ආහාර දුන් අවස්ථාවේ දී දිව්‍ය සත්ප්‍රසාදය පිළිබඳව ඉගැන්වීම් කළ සේක. "ජීවනදායක භෝජනය මම ය. මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය..." [ජොහාන් 6 : 35]

"ජීවනදායක භෝජනය මම ය. ඔබගේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔවුහු මිය ගියහ. මෙය වනාහී, ස්වර්ගයෙන් බැස එන භෝජනය බැවින් එයින් පෝෂණය වන කිසිඳු මිනිසෙක් නොමැරෙන්නේ ය. ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක භෝජනය මම ය. යමෙක් මේ භෝජනයෙන් වැළඳුවොත්, ඔහු සදාකල් ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ භෝජනය මාගේ මාංශය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය." [ජොහාන් 6 : 48 - 51]

"...ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංශය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත. යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේ ද, මාගේ රුධීරය පානය කරන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි. මා‍ගේ මාංශය සැබෑ ‍භෝජනය වේ; මාගේ රුධීරය සැබෑ පානය වේ. මාගේ මාංශය අනුභව කරන, මාගේ රුධීරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නේමි.ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන් ම, මා අනුභව කරන තැනැත්තේ මා නිසා ජීවත් වෙයි. මේ වනාහී ස්වර්ගයෙන් පහළ වූ භෝජනය වේ. එය අපගේ පියවරු වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආ‍හාරය වැළඳ ඔවුහු මළහ. එහෙත් මේ භෝජනය වළඳන තැනැත්තේ සදාකල් ජීවත් වන්නේ ය." [ජොහාන් 6 : 53 - 58]




අදහමි දිව්‍ය සත්ප්‍රසාදෙනී

ගීතිකා නිර්මාණය    :  ගරු ආචාර්ය සිසිල් ජෝයි පෙරේරා පියතුමා  
ගීතිකා දායකත්වය  :  හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා වෙබ් අඩවිය

අදහමී දිව්‍ය සත්ප‍්‍රසාදෙනී
බැතියෙන් සමරමි ස්වර්ග රන් නිධානෙනී
ජීවත් කරමී මගෙ ජීවිතෙන්
ජේසු ක‍්‍රිස්තු සමිඳු දිව්‍ය සත්ප‍්‍රසාදෙනී

ස්වර්ග අසිරි සිරිය ඔබයි දිව්‍ය සත්ප‍්‍රසාදෙනී
පරම අමිල වරම ඔබ සුරම්‍ය සුර විමානෙනී
සංතෘප්ත වී ඒ අසිරියෙන්...//
පාප සාප දුරු කරන්න අසිරියක් වෙමි

ස්වර්ගයෙන් සැපත්වු අමිල බොදුන ඔබයි සමිඳුනී
බොදුන බුදින සුදන කිසිම දිනක නොදනි කුසගිනී
සංතෘප්ත වී ඒ භෝජනෙන්...//
දුගී පැලක ඉදෙන බතක රහස මම වෙමි

ගොල්ගොතාවේ කුරුස කන්දෙ ගැලුව රුධිරෙ ජේසුනී
රැගෙන බොන්න රාත‍්‍රි භෝජනේදී දුන්නු පාත්‍රෙනී
සංතෘප්ත වී ඒ රුධිරයෙන්...//
පවස නිවන දිය දෝතක රහස මම වෙමි

වික‍්‍රමාන්විතෙන්ම අසුන් අරන බැටලු පොව්වෙනී
අග‍්‍ර ස්වර්ග දූත, මරිමවුන්ද, ශුද්ධවන්තිනී
සංතෘප්ත වී ඒ නිමේශයෙන්...//
ස්වර්ග මිහිර දැන්ම විඳිමු සත්ප‍්‍රසාදයෙන්




0 comments:

Post a Comment